ඕස්ට්‍රේලියාව මෙවරත් ලෝක ශූරයන් වන බව ගිල්ක්‍රිස්ට්ගෙන් ප්‍රකාශයක්

0
Girl in a jacket

ඕස්ට්‍රේලියානු කණ්ඩායම නැවතත් සුපුරුදු දස්කම් දැක්වීම ආරම්භ කර ඇති බැවින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඔවුන් දිනා ගනු ඇති බව එරට හිටපු කඩුලු රකින්නකු වන ඇඩම් ගිල්ක්‍රිස්ට් පවසා ඇත.

එරට රූපවාහිනි නාළිකාවක පැවැති ලෝක කුසලාන ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින් මෙම අදහස් පළ කර ඇති ඇඩම් ගිල්ක්‍රිස්ට් “ලෝක කුසලානයට සහභාගි වන කණ්ඩායම් අතුරින් ශක්තිමත්ම කණ්ඩායම ලෙස මෙම අවස්ථාවේදී මම දකින්නේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් (ඕස්ට්‍රේලියාව) එක්දින ලෝක කුසලාන 5කට උරුමකම් කියන නිසා මෙවර තරගාවලියත් ජයගනිමින් 6 වැනි වරටත් ලෝක ශූරයන් වීමට හැකියාව ඔවුන්ට තිබෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වැනි ලෝක මට්ටමේ තරගාවලිවලදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කිරීමේ ප්‍රවණතාවක් සහ විශේෂ දක්ෂතාවක් තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාව මෙවර තරගාවලියේදී මූලික වටයේ තරග පහසුවෙන් ජයගෙන අවසන් මහා තරගයට අවතීර්ණ වී එම තරගය ජයගනු ඇති බවට මට විශ්වාසයි.

සත්කාරකයන් වශයෙන් එංගලන්තයටත්, මේ වන විට දක්ෂ ලෙස ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාවටත් ලෝක කුසලාන අවසන් තරගයට අවතීර්ණ වීමේ හැකියාව තිබුණත් අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු පිල ඔවුන්ට හමු වුවහොත් එය සිහිනයක්ම පමණක් වේවි” යනුවෙන් පවසා ඇත.

තවද ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ගේ ආගමනයත් සමඟින් ඕස්ට්‍රේලියානු පිල තවත් ශක්තිමත් වූ බවද පවසා ඇති ගිල්ක්‍රිස්ට් “පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාව ඉන්දියාව සහ පාකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයන් ලබා වාර්තා කර ගැනීමට සමත්වූයේ ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් නොමැතිවයි. ලෝක කුසලානයේදී ඔවුන් දෙදෙනා නැවතත් කණ්ඩායම සමඟින් එක් වීම මඟින් කණ්ඩායමේ ශක්තිමත්භාවය වැඩි වී ඔවුන්ගේ ධෛර්යය ඉහළ නැංවීමටත් එය හේතු වී ඇති බව මට විශ්වාසයි” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here