සත්කාරක එංගලන්තය පරදවා ලංකාවට ජය..

0

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඊයේ(21) ලීඩ්ස්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 2ක් දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 2කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු  3වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවක් ගොඩනැංවීය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49යි. මෙන්ඩිස් සමග එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 සබඳතාවයක් ගොඩනැංවිය. කුසල් මෙන්ඩිස් ලකුණු 46යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 232ක් පමණි.
ජොෆ්රා ආර්චර් සහ මාර්ක් වුඩ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ලොව අංක එකේ එක්දින කණ්ඩායම වූ එංගලන්තයට මෙය පහසු ජයග්‍රාහී ඉලක්කයක් වුවත්  ඔවුන් ශ්‍රී ලංකා පන්දු බලඇණිය හමුවේ අසරණ විය.

එංගලන්ත පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේදීම ලකුණු 1ක් තුළ දවා ගැනිමට ලසිත් මාලිංග සමත් විය. දෙවන කඩුල්ල ලකුණු 26දී සහ 3වන කඩුල්ල ලකුණු 73දී බිඳ වැටුණි.

එංගලන්ත සියලු ක්‍රීඩකයින් පන්දුවාර 47කදී ලකුණු 212කට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ලසිත් මාලිංග පන්දුවාර 10කදී ලකුණු 43කට කඩුලු 4ක් දවා ගත්තේය.
ධනංජය ද සිල්වා ලකුණු 32කට කඩුලු 3යි. ඉසුරු උදාන කඩුලු 2යි.

හුදකලා සටනක නිරත වූ බෙන් ස්ටෝක් නොදැවී ලකුණු 82ක් ලබා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය ලසිත් මාලිංගට හිමිවුණා.

මේ වනවිට ලකුණු 6ක් ලබා සිටින ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 5වන ස්ථානයේ රැඳී සිටී.
ශ්‍රී ලංකාවේ මීළඟ තරගය ලබන සිකුරාදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here