අනාගත දේශපාලනයේ තීරණාත්මක සාධකය සමාජ මාධ්‍ය

0

මා මේ සටහනින් සාකච්ඡා කරන්නේ එක් පැත්තකින් සමාජ මාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර තිබෙන සම්බන්ධතාව ගැනය. අනෙක් පැත්තෙන් අපේ රටේ දේශපාලනයේ වර්තමානයේ වර්ධනය වී ඇති එක වැදගත් තත්ත්වයක් ගැනය. එනම් ජනතාවගේ එදිනෙදා වැඩකටයුතු අතර සමාජ මාධ්‍යවලට ලැබී ඇති වැදගත්කම පිළිබඳවය. මේ වැදගත්කම දේශපාලන කලාපයට පමණක් නොව ආර්ථික හා ව්‍යාපාරික ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රවලට ද විශාල බලපෑමක් තිබෙන බව පිළිගැනීම නිවැරැදිය.

යම් රටක් දියුණු තත්ත්වයක පවතින්නේ ද යන කාරණය මීට පෙර කාලයේ මැන බැලුවේ ඒ රටේ භෞතික යටිතල පහසුකම් කොතරම් හොඳින් නිර්මාණය වී තිබේද යන නිර්ණායකය මත පිහිටාය. ඒ කියන්නේ එම රටේ මහාමාර්ග ගුවන්තොටුපොළ වරාය විදුලි බලය වැනි භෞතිකමය වූ ක්ෂේත්‍රයේ තිබෙන දේවල් කොපමණ ප්‍රමාණයකට වර්ධනය වී තිබෙන්නේද යන කාරණය මත පිහිටාය.

එහෙත් දැන් ඒ තත්ත්වය වෙනස් වී ඇති අතර යම් රටක් දියුණු සමාජ තත්ත්වයක් අත්පත් කර ගෙන තිබේද යන කාරණය සමග එම රටේ ඩිජිටල් යටිතල පහසුකම්වල ස්වභාවය කෙසේද යන කාරණය සමඟ ඍජුවම සම්බන්ධ වී ඇති බව පිළිගැනීම නිවැරැදිය. යම් රටකට විදේශිකයන් සංචාරකයන් වශයෙන් පැමිණෙන්නේ ඒ රටේ ආරක්ෂාව සහ ඩිජිටල් පහසුකම්වල තිබෙන වර්ධනය යන කාරණා දෙකම එක වගේම සැලකිල්ලට ගනිමින් බව මෙයින් කියවෙන මූලික කාරණය.

මේ තත්ත්වයට සාපේක්ෂව දේශපාලන ක්ෂේත්‍රයේ ද සිදුවී ඇති වර්ධනයේ ස්වභාවය ඉතාමත් විශාලය. 2015 ජනාධිපතිවරණයේ එක් තීරණාත්මක සාධකයක් වූයේ සමාජ මාධ්‍ය අවකාශයේ ගොඩ නැඟුණු යම් ආකාරයක පාලන විරෝධී තත්ත්වයක්ය. මේ තත්ත්වය විසින් ගොඩ නඟන ලද සමාජ ජාලගත කිරීම පාලනය කිරීමට හෝ වෙනස් කිරීමට කිසිදු ආකාරයක ඉඩක් නොලැබී ගියේ මේ මාධ්‍යයේ තිබෙන බලපෑම් ස්වභාවයේ ඇති විශේෂත්වය නිසාය. එපමණක් ද නොවේ. සමාජ මාධ්‍ය ජාලගත වීමක් සිදුවන්නේ යම් ආකාරයක රහසිගත තත්ත්වයක් යටතේ වූ නොපෙනෙන මානයක පදනම් වෙමින් නිසා ඒවායින් ඇති කරන බලපෑමත් ඒ බලපෑම එන්නට කලින් තේරුම් ගැනීමේ හැකියාවක් ඇත්තේ නැත. මා එයින් කියන්නේ එම බලපෑම මගින් සිදුකරන සමාජ පීඩනය හෝ සමාජ වෙනස හඳුනාගැනීමේ හැකියාව ලැබෙන්නේ ද යම් සිද්ධියකින් පසුව බවය. ඒ නිසා මේ නව තත්ත්වය පිළිබඳව තේරුම් ගැනීමක් හා අවබෝධයක් ලබා ගැනීම දේශපාලන පැත්තෙන් බලන විට ඉතාමත් වැදගත් තත්ත්වයක්ය.

ලෝකයේ සමාජ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳව වැදගත් සමීක්ෂණ කරන සිංගප්පූරු ආයතනයක් මගින් සිදුකර ඇති සමීක්ෂණයකින් පෙන්වන්නේ මෙරට සමාජ මාධ්‍යවල ඇති බලපෑම් අතිශයෙන්ම තැති ගන්වන සුළු බවයි. එම සමීක්ෂණයට අනුව මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ලෝකයේ ජනගහනය වශයෙන් ගත් විට බිලියන 7.67 පමණ වේ. මේ සංඛ්‍යාවෙන් සියයට 42 පමණ මොබයිල් ෆෝන් එකක් මගින් සමාජ මාධ්‍යවලට පිවිසෙන්නෝය.

ලංකාව සම්බන්ධයෙන් මේ තත්ත්වය මෙයටත් වඩා ඉතාමත් වැදගත් දත්ත සමූහයක් පෙන්නුම් කරයි. ඉහත සඳහන් සමීක්ෂණයට අනුව ලංකාවේ මොබයිල් පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව මිලියන 28.71 පමණ වෙයි. එම සංඛ්‍යාව මෙරට ජනගහනය වන මිලියන 20.98 පමණ ප්‍රමාණයට වඩා විශාල බව ඒ අනුව අපට තේරුම් යන කාරණයක්ය. එක් පුද්ගලයකු සතුව ඇති ෆෝන්වල ප්‍රමාණය එකකට වඩා වැඩි අවස්ථා ඇති බව අප ප්‍රායෝගිකවම දන්නා බැවින් මේ තත්ත්වය අවබෝධ කර ගැනීමේ අපහසුතාවක් නැත.

දැන් මේ කාරණයට අමතරව මේ වර්ෂයේ එනම් 2019 ජනවාරි මාසයේ ලංකාවේ අන්තර්ජාල පරිහරණය මිලියන 7.13 පමණ වෙයි. එම පාරිභෝගික කණ්ඩායමෙන් සමාජ මාධ්‍ය පරිහරණය කරන ප්‍රමාණය මිලියන 6.2 පමණවන බව මෙම සමීක්ෂණය පෙන්නා දෙයි. ඊට අමතරව මෙහි ඇති වැදගත්ම දත්තයක් වන්නේ 2019 ජනවාරි මාසය සාම්පල් එකක් ලෙස ගත් විට මෙරට මොබයිල් ෆෝන් පාවිච්චි කරන අය අතරින් මිලියන 5.70 පමණ (ලක්ෂ 57 පමණ) සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ තමන්ගේ ජංගම දුරකතනය හරහා බව පෙන්නුම් කිරීමයි. දේශපාලන වශයෙන් සලකා බලන විට මේ සංඛ්‍යාව ඉතාමත් වැදගත් කාරණා රාශියක් පෙන්නුම් කරන බව මගේ අදහසයි.

මෙය ආසන්න වශයෙන් සමස්ත ජංගම දුරකතන පාවිච්චි කරන්නන් අතරින් සියයට 20 පමණ වන අතර 1997 සිට 2002 දක්වා වසර පහ තුළ උපත ලද ඊළඟ මැතිවරණයේ ඡන්දය පාචිච්චි කරන ළාබාලම කණ්ඩායමේ ප්‍රමාණයද ආසන්න වශයෙන් මේ සංඛ්‍යාවට සමානය. එයින් කියන්නේ මේ රටේ සිටින ජංගම දුරකතන පාවිච්චි කරන වසර 18 – 22 අතර අය දුරකතනයෙන් සමාජ මාධ්‍යවලට පිවිසෙන බවය. එසේ නොවේනම් මෙරට දුරකතනයෙන් සමාජ මාධ්‍යවලට පිවිසෙන සියල්ලෝම තරුණ අය නොවෙති.

මා කියන මේ තරුණ කණ්ඩායම් උදේට පත්තරය කියවන අය හෝ රාත්‍රියට රූපවාහිනියෙන් ප්‍රවෘත්ති බලන අය නොවෙති. මේ කණ්ඩායමේ තොරතුරු සම්බන්ධතාව සම්පූර්ණ වශයෙන්ම පවතින්නේ ජංගම දුරකතන හරහා යැයි කීමේ වැරැද්දක් නැත. මේ අය පත්තරය බලන්නේත් ප්‍රවෘත්ති අසන්නේත් ජංගම දුරකතනයෙනි.

මේ සමීක්ෂණයෙන් තේරුම් යන ඊළඟ වැදගත් කාරණය වන්නේ ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ හැත්තෑ එකක් (මිලියන 7.1 ප්‍රමාණයක්) අන්තර්ජාලයට පිවිසෙන අතර එය රටේ සමස්ත ජනගහනයෙන් සියයට 34 පමණ වෙයි. එසේම මෙරට ජංගම දුරකතන භාවිත කරන අය අතරින් ලක්ෂ හැට පහක් (මිලියන 6.5) පමණ තමන්ගේ දුරකතන මගින් අන්තර්ජාලයට ගමන් කරන බවත් එය සම්පූර්ණ ජංගම දුරකතන පාරිභෝගික සංඛ්‍යාවෙන් සියයට 31 පමණ වන බවත් මේ මගින් පෙන්නුම් කර ඇත. මෙතැන සිටින්නේ ජංගම දුරකතන හරහා සමාජ මාධ්‍යවලට යන පමණක් නොව සම්පූර්ණ වශයෙන් කුමන හෝ ජංගම දුරකතනය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන පිරිසය.

දැන් මේ දත්ත මත පදනම්ව සිදුකළ හැකි එක් වැදගත් නිරීක්ෂණයක් වන්නේ මේ රටේ දේශපාලනයේ හා මාධ්‍ය භාවිතයේ බරපතළ වෙනසක් මේ වන විට සිදුවෙමින් පවතින බවයි. මේ වෙනස මගින් ගොඩනඟන්නේ සම්පූර්ණ සත්‍යය මත පදනම් වූ සමාජයක් යැයි මම නොකියමි. එහෙත් සත්‍යය හා අසත්‍යය අතර ගැටුම මින් ඉදිරියට සිදුවන ‘අරගලයේ භූමිය’ වන්නේ ඩිජිටල් අවකාශය යැයි කීමේ වැරුද්දක් නැති බව මගේ අදහසයි. දේශපාලන වශයෙන් 2015 ජනාධිපතිවරණයේ පෙන්නුම් කළ එක් වැදගත් තත්ත්වයක් වන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය විසින් කියන දෙය සහ සමාජ මාධ්‍ය මගින් නිෂ්පාදනය කරන දැනුම අතර බරපතළ වෙනසක් තිබූ බවත් එම වෙනස විසින් සමාජගත කරන ලද දේවල්වල බලපෑම බරපතළ බවත්ය.

විශේෂයෙන් 2015 මැතිවරණයට සම්බන්ධව ඒ දවස්වල මගේ මිතුරකු යෝජනා කළේ ‘ප්‍රභාකරන්ගේ බලපෑම නොමැති ලංකාවක් තුළ ඡන්ද දේශපාලනයේ බරපතළ වෙනසක් සිදුවීමේ විශාල ඉඩක්’ තිබෙන බවයි. යම් ආකාරයකින් මේ නව තත්ත්වයට 2015 ජනාධිපතිවරණය තුළ අප හැමෝම මුහුණ දුන් බව පිළිගත හැකි සත්‍යයකි. මෙයට අමතරව 2015 සිට මේ දක්වා සංවර්ධනය වෙමින් පවතින ඩිජිටල් අවකාශයේ අරගලය පිළිබඳ කාරණා සැලකිල්ලට ගත් විට කිව හැක්කේ මීළඟ දේශපාලන වෙනස්වීම් පිළිබඳව කතාවේ වැදගත් පරිච්ඡේදයක් මේ ගොඩනැගෙමින් තිබෙන සමාජ මාධ්‍ය අවකාශය සමඟ ගැට ගැසී ඇති බවයි.

මීළඟ ඡන්ද දේශපාලනයේ ආකෘතිය වන්නේ මීට පෙර කාලයේ තිබුණු ආකාරයේ රාත්‍රිය ගෙවෙන තෙක් ඡන්ද රැස්වීම්වල පොදි කන මිනිසුන් හෝ මන්ත්‍රීවරයාගේ නිවසේ නිතර ගැවසෙන තරුණයන් නොව ඩිජිටල් අවකාශයේ සැරිසරන හා එය තුළ ප්‍රතිචාර දක්වන දේශපාලන තරුණයන්ය. මේ තත්ත්වය මගින් මෙතෙක් දේශපාලනයේ තිබූ සමහර බෙදුම් රේඛා සහ අධිපති දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට හරවමින් සිටින බව ඉතාමත් නිවැරැදි තත්ත්වයකි. මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි සොයා බැලීම ප්‍රධාන දේශපාලන ධාරවේ මේ මොහොතේ ඇති බරපතළම අභියෝගය යැයි කිවහැකිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here