ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දස දෙනෙකු ආරක්ෂක හේතූන් මත පාකිස්තාන සංචාරයෙන් ඉවත් වේ

0

ශ්‍රී  ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, විස්සයි-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඇන්ජිලෝ මැතිව්ස්, මෙන්ම දික්වැල්ල, කුසල් ජනිත්, ධනංජය, තිසර, අකිල, ලක්මාල්, චන්දිමාල් යන ක්‍රීඩකයන් දසදෙනකු පාකිස්තාන සංචාරය සඳහා පෞද්ගලික හේතු දක්වමින් ඉවත්ව ඇතැයි වාර්තා වේ. 

ඒ අනුව මෙම ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් එම තරගාවලිය සඳහා සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒ පිළිබඳව විශේෂ රැස්වීමක් ඊයේ (09දා) ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. 

එහිදී ක්‍රීඩාංගණවල හා ක්‍රීඩකයන්ට හිමිවන ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද ක්‍රීඩකයන් දැනුවත් කර ඇතැයි පැවැසෙන නමුත් එම තත්ත්වයන් හමුවේද තවදුරටත් ක්‍රීඩකයන් පාකිස්තාන සංචාරයට සහභාගිවීමට අකැමැත්ත පළ කළහොත් එම ක්‍රීඩකයන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් ආදේශ කරගනිමින් සංචාරය නියමිත පරිදි පැවැත්වීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇතැයිද දැනගන්නට ඇත. 

මේ අතර මෙම තරගාවලිය පැවැත්වීම පිණිස ආරක්‍ෂාව සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිවුදෙනකු පසුගිය ජුලි මාසයේදී පාකිස්තානයේ සංචාරයක නිතර වී තිබූ අතර, එම සංචාරය සඳහා එක් වූ හිටපු ගුවන් හමුදාපතිවරයකු වන රොෂාන් ගුණතිලක මහතා ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී ක්‍රීඩකයන් වෙත ආරක්‍ෂාව පිළිබඳව කරුණු දැක්වීමක්ද කර තිබේ.  2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු එක්දින හා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලක් පාකිස්තානය බලා යන්නේ වසර 10කට පසුව වීමද කැපී පෙනේ.  එහෙත් 2017 වසරේදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමක් පාකිතානයේ සංචාරයක නිරත වූ නමුත් එම සංචාරයටද ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනකු සහභාගි වී නොතිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් පාකිස්තාන සංචාරයේදී ජේ‍යෂ්ඨයන්ගෙන් හිස්ව ඇති ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා ළහිරු තිරිමාන්නත්, විස්සයි-20 නායකත්වයට දසුන් ශානකත් පත්කර ඇති බවද පැවැසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here