ලංකාවේ ගොවීන්ටත් සරසවි පාඨමාලා

0

ප්‍රථම වරට උතුරු පළාතේ ගොවීන් සඳහා මාස 03ක පුහුණු වැඩසටහනක් දියත් කිරීමේ ආරම්භක උත්සවය පසුගිය 09 වනදා කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාල කෘෂිකර්ම පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙය උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන්නක්.

මූලික සහතික පාඨමාලාව සඳහා ගොවීන් 30 දෙනෙකු තෝරාගෙන ඇති අතර මෙම පාඨමාලාව යන්ත්‍ර භාවිතය, ඒවා ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන දැනුම සහ කළමනාකරණ දැනුම ආවරණය කරනු ඇත.

ඩිජිටල් සන්නිවේදන තාක්‍ෂණය හරහා මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ ඔබ කුමන විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ඇත්ද යන්න පිළිබඳව පළාතේ ගොවීන්ගෙන් විමසන කාලයක් අනාගතයේදී උදා වන බවයි.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියා සිටියේ,

“අද විශ්වවිද්‍යාල සමාජයට හා ගොවීන්ට පමණක් නොව උතුරු පළාතේ කෘෂිකාර්මික අංශයට ද වැදගත් දිනයක්. ගොවීන් ආරක්ෂා කිරීම අපේ ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීමක් වැනියි.

21 වන සියවසේදී මානව උත්සාහයන් අහස උසට ඇවිත් තියෙනවා. එවැනි සියලු මුලපිරීම් පිටුපස ඇති ප්‍රධාන සාධකය ආහාර සුරක්‍ෂිතතාවයයි. එසේ නොවුවහොත් මානව ශිෂ්ටාචාරය වඳ වී යනු ඇත.

එබැවින් ආහාර නිෂ්පාදනය කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය. 21 වන සියවසේ අභියෝගයන්ට මුහුණ දීමට නම් අප ආහාර නිෂ්පාදනය සදහා සූදානම් විය යුතුය.”

යනුවෙන් සඳහන් කළ ඔහු වැඩිදුරටත් පැවසුවේ විද්‍යාත්මක දැනුම ඇති කෘෂිකර්මාන්තයක් වෙත ගොවීන් යොමු කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here