මාව බාධකයක් වන්නේ හොරුන්ට සහ දූෂිතයන්ට පමණයි… – බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය

0
Girl in a jacket

මුතු ඇට ඇමිණුනු මුතු පොටක් සේ දේශ හිතෛෂී සියලූ බලවේග එකට ඒකාරාශීවීමේ අවශ්‍යතාව ගැන ඇය නිරන්තරයෙන් ඇගේ හඬ අවදි කළාය. එය එසේ නොවන්නේ නම් හුදෙක් අප බලාපොරොත්තු වන රාජ්‍යය ගොඩනැඟීමට නොහැකි වන බව ඇය පුන පුනා අවධාරණය කළාය. රටේ අනාගතය සුරක්‍ෂිත කිරීමටත්, කෙළින් තීන්දු තීරණ ගැනීමටත් ශක්තිමත් නායකයකු බිහිකර ගැනීමට අවැසි බව නිරන්තරයෙන් වෘත්තිකයන් ඉදිරියේ ඈ මතක් කළාය.

පුරා වසර තුනකට වැඩි කාලයක් දේශයේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ නිදා සිටි මනස රට වෙනුවෙන් පුබුදුවාලන්නට තම හඬ පෞරුෂය අවදි කළ මෙම අපූර්ව වෘත්තීයවේදිනිය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ බස්නාහිර පළාතේ පළමු කාන්තා ආණ්ඩුකාරවරිය ලෙස පසුගියදා දිවුරුම් දෙනු ලැබුවාය. සීතා අරඹෙපොළ නම් ඇය වෘත්තියෙන් උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියකි.

පසුගිය කාලයේ මෙරට සිදු වූ දේශපාලනමය පෙරළිය වෙනුවෙන් ඇය කතා කළ බොහෝ මාතෘකාවලට සමාජ මාධ්‍ය ඔස්සේ හොඳ ඉඩක් ලැබී තිබුණා. ඇය ප‍්‍රකට කළේ සම්ප‍්‍රදායික කාන්තාව අභිභවා නැඟී සිටින නූතන කාන්තාවගේ භූමිකාවයි.

බස්නාහිර පළාතේ ප‍්‍රථම කාන්තා ආණ්ඩුකාරවරිය ඔබයි. කොහොමද මෙම අලූත් භූමිකාව ඔබේ සිතට දැනෙන්නේ?
අභියෝගයක් කියන එක දැනෙනවා. අවංකවම මං ගැන නොසිතා වැඩ කරන්න ඕන තනතුරක් කියලා දකිනවා…හැමදාමත් අපි එළියේ ඉඳන් ප‍්‍රාර්ථනා කරපු, බලාපොරොත්තු වුණු මේ රට ගෙන යා යුතු ඉලක්ක තිබෙනවා. ඒ සඳහා සක‍්‍රීයව දායක විය හැකි ලොකු අවස්ථාවක් විදිහටයි මම මේ තනතුර දකින්නේ…නැත්නම් හැමදාම අපි විවේචනය කරනවා මිසක දෙයක් ක‍්‍රියාත්මක කරගන්න බැරි බලය රහිත තැනකයි අපි හිිටියේ…මේ තනතුරත් එක්ක මට හිතෙන්නේ රට වෙනුවෙන් මට තියෙන අදහස් සහ අරමුණු ඉෂ්ට කරගන්න දායක වෙන්න මට ලැබෙන අවස්ථාව වැඩි වෙනවා කියලා.

ඔබ කාන්තාවක් වීම මෙම තනතුර සඳහා අභියෝගයක් විය හැකි ද?
කාන්තාවක හෝ පිිරිමියකු වීම ගැන ප‍්‍රශ්නය තියෙන්නේ මට නොවෙයි, හුදෙක්ම මා දිහා බලාගෙන ඉන්න අයටයි… කාන්තාවක වීම නිසා මෙවැනි තනතුරක් දැරීමට අපහසු යැයි මතවාදයක ඉන්න සමාජයට සහ එවැනි ඕනෑම කෙනකුට ප‍්‍රශ්න තිබිය හැකියි. පරණ මතවාදවලම සිටින, කාන්තාවකට මෙවැනි තනතුරක් අභියෝගයක් පමණක් යැයි සිතන කිහිප දෙනෙක් සමාජයේ සිටීම පුදුම විය යුතු නැහැ.

මේ තනතුර කාන්තාවකට ලැබීම පිළිබඳ අවංකවම සතුටු වන රටට ආදරය කරන ගොඩ දෙනෙක් ඉන්නවා මා සමග. විශේෂයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය මට ලැබෙනවා. ඕනෑම කෙනකුට මෙවැනි තනතුරක් අභියෝගයක් විදිහටයි මම දකින්නේ…

පසුගිය කාලය පුරාවට බස්නාහිර පළාත් සභාව පිළිබඳ මහජනතාව තුළ තිබුණේ පිළිකුල් සහගත චිත‍්‍රයක්…එම තත්ත්වය වෙනස් කිරීමට ඔබ සූදානම් ද?
ලෝක දේශපාලනයේත් ලෝක පරිපාලනයේත් අලූත් මතවාදයක් තිබෙනවා දූෂණය සහ නාස්තිය අවම කිරීම සඳහා ඒ තැන්වලට සුදුසු කාන්තාවන් පත් කළ යුතු බවට… පෘථුල දැනුමක් තිබෙන නායකත්වයක් අපට මේ වනවිට ලැබිලා තිබෙනවා. එම නායකත්ව රාමුවෙන් පිට සිතන කෙනෙක්. තමන්ගේ සීමාවෙන් ඔබ්බට ගිහින් හරි දේ කරන්්න නොපැකිළෙන කෙනෙක්. ඒ විතරක් නොවෙයි එතුමන් ලෝක දේශපාලන මතවාද සහ ප‍්‍රවණතා ගැන අවබෝධයෙන් ඉන්න කෙනෙක්. එම නිසා යම් තැනෙක වැඩි දූෂණයක් වැඩි නාස්තියක් තිබෙනවා නම් එය අවම කිරීම සඳහා කාන්තාවන් එම තනතුරුවලට පත් කළ යුතු බව ඔහුත් විශ්වාස කරනවා ඇති. එයින් මම අදහස් කරන්නේ නෑ බස්නාහිර පළාත් සභාව තුළ කලින් වරින් වර වාර්තා වූ පරිදි සියල්ල සිදු වූවා යැයි කියලා…අපේ ආකල්පමය වර්ධනයන් සමග අපේ ඉලක්ක කරා යා හැකි යැයි මම විශ්වාස කරනවා. වෙනත් විදිහකට කියනවා නම් හොරෙකුට හෝ දූෂිතයකුට පමණයි මාව බාධකයක් වන්නේ…එක්ව ගමනක් යෑමට සිටින ඕනෑම කෙනකුට මම සුහදව ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.

2016 වසරේ සිට ඔබතුමිය රට වෙනුවෙන්, ජාතිකත්වය වෙනුවෙන් වෘත්තීයවේදීන් ඉදිරියේ හඬ නඟනු අපි දැක්කා. එය ඔබේ දේශපාලනයේ ප‍්‍රවිශ්ටය ද?
මා කතා කළ ‘වියත්මඟට’ සහ ‘එළියට’ කවුද නායකත්වය දුන්නෙ කියලා මම ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ… කාන්තාවක් යම් තැනකට යන්නේ සහ යම් දෙයකට එළඹෙන්නේ සුදුසු පරිසර තත්්ත්වයක් තිබුණොත් පමණයි. විනයගරුක පරිසරයක් තුළ තමයි දක්‍ෂ කාන්තාවකට තම දායකත්වය ලබාදිය හැක්කේ. පරිසරය හොඳ නැත්නම්, පරිසරය විනයගරුක නැත්නම් කාන්තාවන් පස්සට යනවා. සෑම ක්‍ෂේත‍්‍රයක්ම කාන්තාවන් අතික‍්‍රමණය කර තිබියදී දේශපාලනයට කාන්තාවන් අකැමැති ඉහත මා කියූ හේතූන් නිසා… ඒ පරිසරය සැකසුණු තැනෙකදී කාන්තාවන්ට එළියට එන්න බාධාවක් ඇතිවන්නේ නෑ… 2016 දී වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ඒ හා සම්බන්ධ වෘත්තිකයන් එකතු වී රට පිළිබඳ කතිකාවක් ඇති කරගත්තා.

‘වියත්මඟ’ පළමුවැනි සමුළුවේදී කතාවක් කිරීමට මගේ සහෝදර විශේෂඥ වෛද්‍යවරයකුට අවස්ථාවක් ලැබුණා. ඔහුට හදිසියේම විදේශ ගතවීමට සිදු වූ නිසා තමයි ඔහු මගෙන් ඉල්ලීමක් කළේ ඔහුට කිරීමට නියමිතව තිබුණු එම කතාව මට කරන්න කියලා. ඒ සඳහා වෘත්තිකයන් විශාල පිරිසක් පැමිණෙන නිසා ඔවුන්ට අසාධාරණයක් නොවන්න සෞඛ්‍යයට ගැළපෙන කතාවක් කරන්න යැයි ඔහු මගෙන් ඉල්ලීමක් ද කළා. දවස් දෙක තුනකින් සූදානම් වෙලා මම එලෙස මගේ පළමු කතාව කළා. ඉන්පසුව මට ‘වියත්මඟ’ සහ ‘එළිය’ වැඩසටහන්වලට ආරාධනා ලැබුණා. ඉන්පසුව මහජනතාවගේ ඉල්ලීම් මත ගොඩක් වැඩසටහන්වලට මට අවස්ථාව දෙන්නත් සිද්ධ වුණා. එම පරිසරය කාන්තාවක් විදිහට මට කිසිදු බාධාවක් තිබුණු පරිසරයක් නෙමෙයි. හරිම විනයගරුක විදිහට වැඩ කරගෙන යන්න අවස්ථාව ලැබුණා. සම්ප‍්‍රදායික දේශපාලන සංස්කෘතියකින් ඔබ්බට ගිය සංස්කෘතියක් එහි තිබුණා. දේශපාලනයට වඩා අප එහි කෙරුවේ වියත් කතිකාවක්.

විශේෂඥ වෛද්‍යවරියක් විදිහට අත්දැකීම් ඇති ඔබට දේශපාලනය අලූත් අත්දැකීමක් නොවෙයිද?
සෑම මනුෂ්‍යයකු තුළම දැන හෝ නොදැන දේශපාලන සත්ත්වයෙක් ජීවත් වෙනවා. ඔවුන් තමයි ඉවෙන් මෙන් සමාජ දේශපාලනය හඳුනාගන්නේ. ඍජු සහ වක‍්‍ර දේශපාලනය කියලා දෙකක් තියෙනවා නේ. අපි අපේ ඡුන්ද බලය පාවිච්චි කරනවා නම් අපි කොහෙන් හරි දේශපාලනයට අනුබලදීමක් සිදු කරනවා. එහෙම කරමින් අපට දේශපාලනය වැඩක් නෑ කියනවා නම් ඒක හරි අසාධාරණයි. දේශපාලන දැනුම කොහෙන් හරි අරගෙන තමයි අපි අපේ ඡුන්දය පාවිච්චි කරන්නේ. එහෙම අරගෙන තමයි ඡුන්දය පාවිච්චි කරන්නත් ඕනෙ. නැතුව යාළුකමට, හිතවත්කමට තමන්ට එවෙලේ ලැබෙන දේ ගැන හිතලා ඡුන්දය පාචිච්චි නොකළ යුතුයි. එහෙම කරනවා නම් එය අනාගත පරපුරටම කරන අසාධාරණයක්. එහෙම බැලූවොත් අපි හැමෝම මොන වෘත්තියක නියැලූණත් දේශපාලනය ඇෙඟ් තියෙනවා…ඒක ඒ කෙනාගේ සීමාවන් තුළ පමණයි වෙනස් වෙන්නෙ. වෛද්‍යවරියක් කියන්නේ මගේ රැුකියාවේ භූමිකාව. මේ රටේ පුරවැසියෙක් විදිහට මගේ යුතුකම සහ වගකීම වෛද්‍යවරියක වීම නිසා මඟහැර යන්න මට බැහැ… හැමදාම මේ රටේ හොඳ මිනිසුන් නිශ්ශබ්ද වීම නිසා තමයි නරක මිනිසුන්ගෙන් හානියක් මේ රටට සිද්ධ වුණේ.

එදා ඉඳන් මම කියවීමට කැමැති කෙනෙක්. මගේ අප්පච්චි තමයි මට ඒ දේවල් හුරු කළේ. ඉතිහාසය කියැවීමේ ලොකු ප‍්‍රියතාවක් තියෙනවා. මගේ හිතේ කොණක තිබුණා, දේශපාලනය පිළිබඳ උනන්දුවක්. හඬක් නඟන්න හොඳ පරිසරයක් සහ හොඳ අවස්ථාවක් විතරයි මට නොතිබුණේ.

ඔබේ ළමා කාලය ගැන කතා කළොත්…?
මගේ මුල් ගම කුරුණෑගල. කුඩා කාලයේ ඉඳලා අපි පදිංචි වෙලා හිටියේ කඩවත ඇල්දෙණියේ. අප්පච්චියි, අම්මයි, සහෝදරයෙක් විතරයි මට හිටියේ. දැනට ජීවතුන් අතර ඉන්නේ මගේ අම්ම විතරයි… අම්ම තමයි මේ ගමන මේ තරම් දුරක් මාව අරගෙන ආවේ.

2012 දී මගේ සහෝදරයා රෝගී තත්ත්වයක් නිසා මියයනවා. ඔහුගේ බිරිඳයි දරුවයි අපට ඉන්නවා. මගේ අප්පච්චි නැති වුණේ මීට අවුරුදු 15 කට කලින්.

මගේ සැමියා නිර්වින්දනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහුත් මේ වනවිට පෞද්ගලික අංශයේ සේවය කරනවා. අපේ දියණියන් දෙදෙනා කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා.

ඔබ අධ්‍යාපනය ලැබුවේ…?
මම මුල් අධ්‍යාපනය ලැබුවේ කිරිබත්ගොඩ විහාරමහාදේවි විද්‍යාලයෙන්. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ දේවි බාලිකා විද්‍යාලයට මම ඇතුළත් වෙනවා. දේවි බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්වීමෙන් පසු මම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය හදාරනවා. පශ්චාත් වෛද්‍ය උපාධිය උගුර, කන, නාසය සම්බන්ධයෙන් මම හදාරන්නේ කොළඹ වෛද්‍ය පීඨයෙන්. පශ්චාත් උපාධියේ අවසන් වසර දෙක එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් මා ලබා ගන්නවා. සායනික සහ ශල්‍ය වෛද්‍ය පුහුණුවත් එහිදී මා ලබාගන්නවා.

ඔබ විශේෂඥ වෛද්‍යවරියක වී ලංකාවට පැමිණි පසුව සේවය කළේ කොහෙද?
දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ටික කාලයක්, මන්නාරම රෝහලේ ටික කාලයක් සහ ජාතික රෝහලේ කාලයක් මම සේවය කළා. මාගේ පුද්ගලික හේතූන් සහ විදේශගතවීමේ බලාපොරොත්තුවෙන් මම රාජ්‍ය සේවයෙන් ඉවත් වුණා. නමුත් එදා ඉඳලා ඉගැන්වීමේ ආසාවෙන් පෙලූණු නිසා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උගුර, කන, නාසය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස එහි අධ්‍යාපනය ලැබූ වෛද්‍ය ශිෂ්‍යයන්ට දැනුම ලබාදෙන්න මට අවස්ථාව ලැබුණා. එහිදී ඒ දරුවන් එතැනට කොහොමද ආවෙ කියන එක මට අදාළ නැහැ. ගුරුවරියක් වශයෙන් මගේ යුතුකම මම ඉටු කළා. අපි දකින්නේ හිරකාරයට හරි අකුරක් උගන්වන්න පුළුවන් නම් එය කළ යුතු යැයි කියා.

ඒ අතරතුරේදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙස මගේ සේවය මම ලබාදුන්නා. එහි අධිකාරි බලයක්වත් පරිපාලනයටවත් මම සම්බන්ධ වෙලා නැහැ… මට උගන්වපු ගුරුවරුත් එහි මා සමගම සේවය කළා. 2017 දී ඒ සියල්ලෙන්ම මම ඉවත් වුණා. මම ස්වාධීන වෛද්‍යවරියක් විදිහට පෞද්ගලික අංශයේ පමණක් වැඩ කරන්න ගත්තා. රට දාලා යනවා වෙනුවට එහෙම හෝ මගේ දායකත්වය ලබාදීමට පුළුවන් වීම ගැන මම අද සතුටු වෙනවා. රටට වැඩ කරන්න පෞද්ගලික අංශය ද රාජ්‍ය අංශය ද අදාළ නැහැ. එක අංශයක වැඩ කරන්නේ රටට ආදරේ පිරිසක්, අනෙක් අංශයේ වැඩ කරන්නේ රටට ආදරේ නැති පිරිසක්, කියන්න අපට බැහැ.

මම මේ ගැන වැඩියෙන්ම කතා කළේ බොහෝ දෙනෙක් මේ වනවිට ඒ පිළිබඳව කුතුහලයෙන් සිටින නිසා… ප‍්‍රශ්න කරන නිසා.

වෙනත් රටවල මෙන් තෙල්, ගෑස් වැනි සම්පත් විකුණා මුදල් සෙවීමේ ක‍්‍රමවේදයක් අපට නැහැ. නමුත් සේවා සහ දක්‍ෂතා මිල කිරීමේ හැකියාව අපට තිබෙනවා. මේ පිළිබඳ ඔබට හඬක් නැඟිය හැකි ද?
ඔව්…අපට සේවා සැපයීමෙන් මුදල් සෙවිය හැකියි. ඒ සඳහා දක්‍ෂතා දියුණු කළ යුතුයි. විශේෂයෙන් නිපුණතා සංවර්ධනය කරමින් නිපුණතාවෙන් වැඩි පිරිසක් පිටරට රැුකියා වෙළෙඳපොළට යැවිය හැකියි. උදාහරණයක් විදිහට ගෘහ සේවිකාවක් යවනවා වෙනුවට පුහුණු හෙදියක් ලෝක රැුකියා වෙළෙඳපොළට යැවිය හැකි නම් අපට ලැබෙන ආදායමත් වැඩිවෙනවා. විසිරෙන පවුල පවා සුරක්‍ෂිත වෙනවා.

ශ‍්‍රී ලංකාවේ පවතින රැකියා වෙළෙඳපොළට වඩා වැඩියෙන් ශ‍්‍රමිකයන් පුහුණු කරමින් අතිරික්තය විදේශ රැකියා වෙළෙඳපොළට ඔවුන්ගේ පවුල පිටින් පිටත්කර හැරීමේ ක‍්‍රමවේද අපි ඇති කළ යුතුයි. සම්පත් විකුණන රටක් වෙනුවට නිපුණතා ශ‍්‍රමය ලොවට විකුණන රටක් බවට පත්විය යුතුයි. මේ සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්‍ෂේත‍්‍ර මෙන්ම සියලූ ප‍්‍රධාන ක්‍ෂේත‍්‍ර ජාතික ප‍්‍රතිපත්තියකට අනුව සකසා ගැනීමේ වගකීම අපට තිබෙනවා. ඒ ඒ අමාත්‍යාංශයෙන් සාදා දෙන ජාතික ප‍්‍රතිපත්ති පළාත් සභාව හරහා ක‍්‍රියාත්මක කිරීමයි අපි කළ යුත්තේ. ඒ සබඳතාව අද වනතුරුත් ඇති වී නැහැ. අවුුරුදු හතරක් තිස්සේ ‘වියත්මඟ’ තුළ ජාතික ප‍්‍රතිපත්ති සෑදීමට අපි මහන්සි වුණා. ඒවා ක‍්‍රියාත්මක කිරීමයි දැන් කළ යුත්තේ.

– හරින්දි ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here