නිවසේ යාඥාව අතරතුර මියගිය දිගම්පතහ කාන්තාව රෝහලට ගෙනියනකොටත් සිහිය තිබුණේ නෑ..

0
Girl in a jacket

‘‘මම දිගම්පතහ තියෙන අපේ ගෙදර යන්න කියලා මින්නේරියට යනකොට කිරි අම්ම මට කෝල් කරලා කිව්වා දුවට අසනීපයි, ඉක්මනට ආපසු එන්න කියලා. මම ඉක්මනට හිඟුරක්ගොඩ ගම්පොළ වත්තේ බිරිඳගේ මහ ගෙදරට යනකොට ඇය සිහි නැතිව 1990 ගිලන් රථයට දාලා හිටියා. අපි එයාව හිඟුරක්ගොඩ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළත් දොස්තර මහත්තුරු කිව්වා බිරිඳ නැතිවෙලා කියලා.’’

හිඟුරක්ගොඩ ගම්පොළවත්ත ප්‍රදේශයේ පිහිටි තම මහගෙදර යාඥා මෙහෙයකට සහභාගි වන අතරතුරේදී රෝගී බව උත්සන්න වීම නිසා රෝහල්ගත කරන මොහොතේදී මියගිය රණසිංහ ආරච්චිගේ යුරේෂිකා දිල්රුක්ෂි රණසිංහ (22) නමැති එක්දරු මවගේ මරණය සම්බන්ධව පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඇයගේ සැමියා වන යුද හමුදා සෙබළ රත්නායක මුදියන්සේලාගේ සම්පත් කුමාර රත්නායක යන අය එසේ කීය.

මෙම මරණ පරීක්ෂණය කවුඩුල්ල හදිසි මරණ පරීක්ෂක එස්. ඒ. ගුණසේකර විසින් පසුගිය 18 වැනි දින සවස හිඟුරක්ගොඩ රෝහලේදී පවත්වනු ලැබීය.

තවදුරටත් සාක්ෂි දුන් හෙතෙම මෙසේද කීය.

‘‘මියගොස් සිටින්නේ මගේ බිරිඳ. අපට එක දරුවෙක් ඉන්නවා. අපි පදිංචි වෙලා ඉන්නේ දිගම්පතහ.. මම වැඩට ගියහම බිරිඳ එයාල​ගේ හිඟුරක්ගොඩ මහගෙදර යනවා.

මේ මාසේ 13 දා අසනීප වෙලා බිරිඳ පොළොන්නරුව ඉස්පිරිතාලේ නතර කරලා තියෙනව. එයා පරීක්ෂා කරපු දොස්තර මහත්තුරු කිව්වලු අසනීපයක් නැහැ කියලා. පහුවදා ටිකට් කපලා තියෙනවා. එතකොට දොස්තර මහත්තුරු කිව්වලු ලේ පරීක්ෂාවක් කරගෙන 18 දා පොළොන්නරුව ඉස්පිරිතාලෙට එන්න කියලා. එත් බිරිඳට ඒක කරන්න බැරි වෙලා.

මේ අතරේ බිරිඳට තද හිසේ අමාරුවක් ඇවිත් හිඟුරක්ගොඩ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් බෙහෙත් අරගෙන තියෙනවා. ඒ බෙහෙත්වලට හිසරදේ ගොඩාක් අඩුවෙලා. 18 වැනිදා හවස මම දිගම්පතහ ගෙදර යන්න කියලා පිටත් වුණා. මින්නේරියට යනකොට මට කිරි අම්මා කෝල් එකක් දීලා කිව්වා දුවට අසනීප වුණා ඉක්මනට ගෙදර එන්න කියලා. මම ඒ එක්කම ආපසු හැරිලා ගෙදර ආවා. ගෙදරට එනකොට 1990 ගිලන් රථයක් ඇවිල්ලා තිබුණා. දිල්රුක්ෂි ඒකට දාගෙන එයාව හිඟුරක්ගොඩ රෝහලට අරගෙන ගියා. යනකොටත් එයාට සිහියක් තිබුණේ නැහැ. බිරිඳ හිඟුරක්ගොඩ ඉස්පිරිතාලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළා. වෛද්‍යවරු පරීක්ෂා කරලා කිව්වා එයා නැතිවෙලා කියලා. මේ මරණයට හේතුවක් මම දන්නේ නැහැ.’’

මෙහිදී සාක්ෂි දුන් මරණකාරියගේ මව වන අනුකුඹුරේ බස්නායක මුදියන්සේලාගේ ස්වර්ණලතා මැණිකේ යන අය මෙසේ කීය.

‘‘මේ මාසයේ 13 දා දුවට උණ, කැස්ස හැදිලා කලන්තේ වගේ කිව්ව නිසා පො​ළොන්නරුව ඉස්පිරිතාලෙට ඇතුළත් කළා. ඒත් දොස්තරලා කිව්වා ලෙඩක් නැහැ කියලා. ඒත් හදිසියේ ලෙඩ වෙලා දුව නැති වුණා. අපට හිතාගන්න බැහැ තිබුණ අසනීපය මොකක්ද කියලා.’’

මෙහිදී මියගිය අයගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඩී. ජී. එන්. රාජපක්ෂ නිගමනය කර තිබුණේ මරණයට හේතුව නිශ්චිතව හඳුනා ගත නොහැකි බවයි. සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යැවීමටද මෙහිදී තීරණය කළේය.

ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා අනුව මරණය පිළිබඳ විවෘත තීන්දුවක් මරණ පරීක්ෂකවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

හිඟුරක්ගොඩ පොලිසියේ සැරයන් ඒ. පී. පී. ජිනදාස (39206) මෙහි සාක්ෂි මෙහෙයවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here