ආදරණීය වස්සානය සහ සංඛාරා ඇතුළු චිත්‍රපට හරහා බොහෝ දෙනාගේ සිත් ගත් රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා ගැන මේ දිනවල අවධානය යොමුවී තිබෙන්නේ අලුත්
ව්‍යාපාරික කටයුත්තකට මුලපිරීම නිසයි.

ඇය පහුගිය දිනයක හිසකෙස් සඳහා ආලේපනයක් ලෙස භාවිත කළ හැකි අලුත් නිෂ්පාදනයක් හඳුන්වා දුන්නා. ඒ පිළිබඳව දැනගන්නත් එක්ක අපි සචිනි අයේන්ද්‍රා සමඟින් කතාබහකට එකතු වුණා.

ඔබ රංගනයෙන් දායක වුණු ගර්භාශය චිත්‍රපටය ගැන අපි මුලින්ම කතා කරමු?
ඒ චිත්‍රපටයේ මම රඟපාන්නෙ යාපනයෙන් ආපු මරාගෙන මැරෙන කොටි කාන්තාවක් හැටියට. හරිම ලස්සන කතාවක්. ඉතින් ඒ චරිතයට හැඩ ගැහෙන්න තිබ්බ ආකාරය විශේෂයි. දෙමළ කාන්තාවක් විධියට අසීරු චරිත නිරූපණයක් තිබ්බෙ. දෙමළ ඉගෙන ගන්න වුණා. ගුටි කන්න සහ වැටෙන්නත් වුණා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කවුද?
නිෂාන්ත ශාන්තදේව කියල අධ්‍යක්ෂවරයෙක්.  ඔහුගෙ පළමු චිත්‍රපටය තමයි ගර්භාශය.

වැඩිපුර රඟපාන්නෙ නැත්තෙ චරිත තෝරා බේරාගැනීම නිසාද නැත්නම් ආරාධනා එන ආකාරයද?
අම්මෝ නෑ. ආරාධනා නම් ගොඩක් එනවා. මෙහෙමයි මම මුදල් වෙනුවෙන්ම නෙවෙයි රඟපාන්නෙ. වෘත්තියක් හැටියට වුණත් මේ හරහාම නෙවෙයි මම යැපෙන්නේ. ගොඩක් නළු නිළියො ඉන්නව මුදල් ප්‍රශ්න නිසා තෝරා බේරාගැනීමක් නැතුව හැම එකේම රඟපානවා. 

හැබැයි මම හිතන්නෙ අපි හැමෝම තෝරා බේරාගෙන රඟපාන්න ඕන කියලා. මම ගොඩක් චිත්‍රපටවල රඟපාල නැති වුණත් ඒ කීපය ප්‍රේක්ෂකයන්ට මතකයි. මම හිතන විධියට ප්‍රේක්ෂකයොත් චිත්‍රපට බලන්නෙ තෝරා බේරාගෙන කියලයි.

ලබන අවුරුද්දෙ සැලසුම් මොනාද?
ගර්භාශය චිත්‍රපටය අන්තර්ජාතික චිත්‍රපට උළෙලකදී ප්‍රදර්ශනය ආරම්භ කරන්න නියමිතයි. කලාව පැත්තෙන් ලොකුම බලාපොරොත්තුව ඒක. ඊළඟ ප්‍රධානම දේ තමයි මගෙ ව්‍යාපාරික කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යෑම.

කලාකරුවො බහුතරයක් ව්‍යාපාරවලට එන්නෙ පහසු නිසාද නැත්නම් ආර්ථික ගැටලු හේතුවෙන්ද?
මෙහෙමයි අපිට ව්‍යාපාර කරන්න ලේසියි. සාමාන්‍ය කෙනෙක් කියන දෙයක් අහනවට වඩා කලාකරුවෙක් කියන දෙයක් අහන්න මිනිස්සු කැමතියි. ඒ නිෂ්පාදන ගැන විශ්වාසයක් තියෙනවා.

ඔයා ආඩම්බරයි කියල කතාවක් තියෙනවා?
ඔව්. ලොකු කතාවක් තියෙනවා ඒ ගැන. පාසල් කාලෙ ඉඳන් අද වෙනකම්ම මං ගැන කියන දිගම කතාව තමයි මං ආඩම්බරයි කියන එක. ඒත් දකින හැමෝම එක්ක මම හොඳින් කතා කරනවා. මං හිතන්නෙ පෙනුමෙන් එහෙම හිතෙනවද දන්නෙ නෑ. හැබැයි ළඟින් ආශ්‍රය කරන අය දන්නවා සචිනි කියන්නෙ කවුද කියලා.

බබාල දෙන්නත් එක්ක ගෙවෙන ජීවිතේ කොහොමද?
සුන්දරයි. ලොකු දුවට දැන් අවුරුදු නවයයි. පොඩි එක්කෙනාට හයයි. ඒ දෙන්නම ඉගෙන ගන්නෙ මියුසියස් විද්‍යාලයේ. මේ දවස්වල නම් ගෙදර ඉන්නෙ. ඒ නිසා මං යන යන තැන ඒ දෙන්නත් එනවා ඉතින්.

සැමියාගෙන් ලැබෙන දායකත්වය මතක් කළොත්?
සහයෝගය දෙනවා ඉතින්. එක එක කාලෙට මං කරන දේවල්වලදි සැමියා තමයි ඔක්කොම කරන්න ඇත්තෙ කියලත් සමහරු හිතනවා. ඒත් මම තමයි මේ Hair Product එකේ වැඩත් බොහොමයක් කරගත්තේ. මේ දවස්වල ගොඩක්ම කාර්යබහුලයි. මොකද මං මගේම Product  එකක් ලෝන්ච් කරා. ඒක Hair Product එකක්.

රංගන ශිල්පිනියක් විධියට මේ සඳහා යොමුවෙන්න හිතුවේ ඇයි?
ඒක පොඩි කතාවක්. මීට අවුරුදු තුන හතරකට කලින් මගෙ කොණ්ඩෙ ගැලවෙන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සෙ ලෝකෙ හැමතැනින්ම එක එක නිෂ්පාදන මං පාවිච්චි කරා. 

ඒ අතරින් නිෂ්පාදන කීපයක් නිසා ඒ ප්‍රශ්නෙ විසදුණා. ඒත් එක්ක මුණගැහෙන හැමෝම මගෙන් අහන්න ගත්ත කොණ්ඩෙ වැවුණේ කොහොමද කියලා. ඉතින් මේ ප්‍රශ්න කිරීම් එක්ක මම හිතුවා. ඒ නිෂ්පාදන එකතු කරලා මගේම විධියට හිසකෙස් සඳහා නිෂ්පාදනයක් කරන්න ඕන කියලා. 

Original product එකේ ලයිසන්ස් රෙසිපි අරගෙන මේ අවුරුද්දේ මුල තමයි මං මේක හැදුවේ. කොරෝනා වසංගතය නිසා කලින් දෙවතාවක්ම එළිදක්වන්න බැරිවුණා. ඒත් තවත් කල් දාන්න බැරි නිසා සෞඛ්‍ය රෙගුලාසි යටතේ Zoom App එක හරහා මේ product එක Online ලෝන්ච් කළා.

සැලෝන් නැචුරල් එකේ තමයි උත්සවය පැවැත්වුණේ. යාළුවො කීප දෙනෙක් සහ මාධ්‍යවේදීන් තමයි තමයි ආවේ. Zoom App එක හරහාත් Facebook Page හරහාත් බොහෝ දෙනෙක් මේ අවස්ථාවට එකතු වුණා. සජීවීව සහභාගි වෙනවට වඩා විශාල පිරිසක් Online සහභාගි වුණු එක විශේෂත්වයක්.

ඇතුළත් වෙන්නෙ ශාකසාර දේවල්ද?
කොකනට් ඔයිල්, ජොජෝබා ඔයිල් ඇතුළු ඔයිල් වර්ග කීපයක් ඇතුළත් වෙනවා. නාන්න කලින් තමයි මේක පාවිච්චි කරන්න ඕන. ගැහැනු සහ පිරිමි ඕනම කෙනෙක්ට සැලෝන් නැචුරල් එකේ ශාඛාවලින් සහ වෙබ් සයිට් එක හරහා Online මිලදී ගන්න පුළුවන්.

මේ දිනවල කලාව පැත්තෙන් මොනාද කරන්නෙ?
මම රංගන දායකත්වය ලබාදුන්න චිත්‍රපට කීපයක් ඉදිරියේදි ප්‍රදර්ශනය වෙන්න නියමිතයි.

– නිසංසලා සංගීතා සමරතුංග

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here