ලෝකය ඉදිරියේ අප රට නියෝජනය කරන්නට තරම් රූමත්වූ ඇය නමින් ප්‍රාර්ථනා සෙව්වන්දිය. 2018 වසරේදී Miss Sri Lanka For U.S.A. තරගාවලිය නියෝජනය කළ ඇයට Miss Beautiful EYES කාණ්ඩය යටතේ ජයග්‍රහණය හිමිව ඇති අතර 2017 වසරේදී Miss Lanka තරගාවලියේ Miss Photogenic ලෙසත් Miss Beautiful Figer කාණ්ඩයට අයත් ජයග්‍රහණයක් හිමි කර ගැනීමට හැකි විය. ලැබූ ජයග්‍රහණයන් නිසාම නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දුර පැමිණ ඇති ඇය අපි අද Beauty Tips පිටුව සරසන්නට තෝරා ගත්තෙමු. 

රංගන කටුයතු වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 
උරුමයක අරගලය, සිද්ධාර්ථ ගෞතම, රාවණා 1, රාවණා 2 කියන මේ හැම එකකටම ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි. මේ වන විට අලුත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. 

මේ හැමදේම ඔබට ලැබුණේ සුන්දරත්වය නිසාමද? 
ඔව්. සුන්දරත්වය ප්‍රධාන වශයෙන්ම බලපෑවා. ඊට අමතරව හැකියාව, දක්ෂතාවය, ​ෙපෟරුෂය, ලැබීම, වාසනාව කියන මේ හැමදේකම එකතුවක් ලෙසටයි මා අද ආ ගමන් මඟ ගැන මට හිතෙන්නේ. 

පුංචි කාලේ ඉඳලාම හිතුවාද කවදා හරි නිළියක් වෙනවා කියලා? 
නැහැ. පුංචි කාලේ නම් ආසාව තිබුනේ ගුවන් සේවිකාවක් වෙන්න. ලොකු වෙලා අහම්බෙන් වගේ නිරූපන ක්ෂේත්‍රයට දායක වෙන්න ලැබුණා. කොහොමටත් ඉතිං මම හීනයකින්වත් හිතපු නැති තැනකයි අද ඉන්නේ. Modeling වලින් Bridal Model කෙනෙක් විදිහටත් ඉස්සරහට එන්න පුළුවන් වුණා. 

කාන්තාවකට ලස්සන වැදගත් කියලා හිතනවාද? 
ඔව්. අනිවාර්යයෙන්ම සමාජයේ කැපී පේන්න තරම් මහා ලොකු රූප සුන්දරත්වයත් නොවුණත් පිළිවෙළ පිරිසිදුකම කියන දේ එක්ක කාන්තාවකට උපතින් ලැබුණු සුන්දරත්වයට වටිනාකමක් එකතු වෙනවා. ඒත් එක්කම මට හිතෙනවා මතුපිට ලස්සනට වඩා ඇය සතු ගතිගුණ හැසිරීම වගේ ගුණාංග නිසාත් ඇයට වටිනාකමක් එකතු වෙනවා කියලා. 

මතුපිටින් ලස්සන හැමෝම හදවතින් ලස්සනද? 
නැහැ නේද? ගොඩක් ලස්සන අය ළඟින් ආශ්‍රය කරද්දි හිතෙනවා ඒ අයගේ හදවත එච්චර ලස්සන නැති බව. තවත් අය මතුපිටින් එච්චර ලස්සන නැතත් ආශ්‍රය කරද්දී හිතෙනවා ඔවුන් හදවතින් කොච්චර ලස්සන ද කියලා. 

ලංකාවේ බොහෝ දෙනෙක් හම සුදු කර ගන්න පෙළෙඹෙනවා. සුදු හමට වටිනාකමක් තියෙනවද? 
බොහෝ බටහිර රටවල සිටින අය අපට උරුම ආසියානු හමට හරිම ආසයි. ඒ වගේම ආදරෙයි. 
පිටරටවල් වල තරග වලට සහභාගී වෙලා තියෙන නිසා ඒක මම හොඳටම දන්නවා. හම සුදු වුණා කියා අපට ලස්සනට පේන්නේ නෑ. ඇත්තටම ෆීචස් ලස්සන නම් හමේ පාටින් වැඩක් නෑ. ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා කළු හමෙන් පවා ඉදිරියට ගිය අය. හම සුදු කර ගත්තා කියලා ලෝකය වෙනස් කරපු අය ලෝකයේ නැති බවයි මගේ නම් පෞද්ගලික අදහස. 

පුංචි කාලේ ඉඳලා ලස්සනයි කියන වචනය ඔබ අහනවාද? 
ඔව්. තේරෙන කාලේ ඉඳලා ඒ වචනය නම් නිතර ඇහුණා. නමුත් මම ලස්සනයි කියලා මට දැනෙන්න ගත්තේ අවුරුදු 15 විතර වගේ වෙනකොට. 

ලස්සන දුවව තවත් ලස්සන කරන්න අම්මා කොහොමද වෙහෙසුණේ කියලා මතකද?
ම්… එළවළු, පළතුරු වර්ග ගොඩක් කවනවා ලස්සන වෙනවා කියලා. පළා කොළ වර්ග කැඳ වර්ග බිව්වාම කොණ්ඩේ වැවෙනවා කිව්වාම ඒවා අකමැත්තෙන් වුණත් කෑවා මතකයි. 

දැන් මොනවද ලස්සන රැක ගන්න කරන්නේ? 
ඇත්තටම මම මගේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න නිරන්තරයෙන්ම වෙහෙසෙනවා. 
කෑම බීම ගැනීමේදීත් සැලකිලිමත්. ඊට අමතරව සෑම දිනකම පැය බාගයක කාලයක් ව්‍යායාම කරනවා. 
අනිත් දේ තමයි හම ලස්සනට තියා ගන්නයි, නිරෝගීකම ආරක්ෂා කර ගන්නයි කියලා හිතලා උවමනාවෙන්ම වතුර ගොඩක් බොනවා. ඊට අමතරව කස කසා ඇට වතුරට දාලා උදේ හවස බොනවා. බාර්ලි සව් තැඹිලි වගේ පාන වර්ග නිතරම ගන්නවා. මොකද ඒ වගේ කෑම වලින් ශරීරය බොහෝ සෙයින් සිසිල් වන නිසා. 
පළතුරු වර්ගයක් යුෂ විදිහට පිළියෙළ කරලා ගන්නවා. මම හරිම ආසයි පැෂන් ජූස් හදලා බොන්න. 

හම ලස්සන තියා ගන්න මොනවාද ආලේප කරන්නේ?
මම ඉස්සර ඉඳලාම සමේ සුන්දරත්වය ආරක්ෂා කර ගන්න පාවිච්චි කළේ ස්වභාවික දේවල්. වෙනිවැල්ගැට කුඩු, කස්තුරි කහ, කොකුම් පොතු එකතු කරලා හදා ගත්ත පවුඩර් එකක් තියෙනවා. මම එක් සුමානයට දිනක් දෙකක් පැක් එකක් විදිහට භාවිත කරනවා. එම මිශ්‍රණයට යෝගට් එකක් මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර භාවිත කරනවා. ඊට අමතරව ආයුර්වේද බෙහෙත් කඩවලින් ගන්න ආලේපනයකුත් භාවිත කරනවා. මේ හැමදෙයකින්ම හම පැහැපත්ව දීප්තිමත්ව කියා ගන්න පුළුවන් වෙලා තියෙනවා. 

ඔබ ඔබේ සුන්දරත්වය නිසාම තරඟ වලට සහභාගී වූ කෙනෙක්. ඒ කාලයේදී ශරීරයේ හැඩය පැහැය ලස්සනට තියා ගන්න මොනවාද කළේ? 
එම තරග වලට සහභාගී වීමේදී ඇඟ ගාණට තියන්න ඕනේ නිසා කෑවේ දවසකට එක වේලයි. ඒ ආහාරය ​පෝෂ්‍යාදායී සෞඛ්‍ය සම්පන්නව ගන්න පුරුදු වුණා. ඊට අමතරව සමේ දීප්තිමත් බව වැඩි කර ගන්න දිනපතා යෝගට් එකක් හෝ දෙයක් මුළු ඇඟේම ආලේප කර පැය බාගයක් තියලා සෝදනවා. උපතින්ම මගේ හම කොහොමත් කහ පැහැයට හුරු පැහැයක් ගත් නිසා ස්වභාවික අලේපන වලින් එම පැහැය තවත් වැඩි කරගන්න ලැබුණා. 

ඔය තරම් ලස්සනට කොණ්ඩය තියා ගන්නේ කොහොමද? 
මම කොණ්ඩේ වවන්න පටන් ගත්තේ පාසලේ 7 වසර පන්තියේ ඉගෙන ගන්න කාලේ ඉඳලා. ඒ දවස් වල ඉඳලා මේ වෙනකම්ම මම පාවිච්චි කරන්නේ අම්මා ගෙදර හදපු තෙල් වර්ගයක්. විටමින් ඊ, එඬරු තෙල්, ඔලිව් තෙල් එකතු කරලා හදපු තෙල් වර්ගයක් හිසේ ගාලා හොඳට මසාජ් කරලා ටික වේලාවක් තියලා නානවා. 

විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද? 
ඔව්. මම හරිම ආසයි. චාම්, සරළ ඇඳුම් අඳින්න. කැපී පේන්න ඇඳුම් අඳින්න කැමති නෑ. 

ඇඟට ගැලපෙනම පාට? 
කහ පාට, ලා රෝස පාට වගේ ලා පාට වලට තමයි කැමැති. 

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
ඉන්දියානු රංගන ශිල්පිනියක් වන මෝනි රෝයි (ශිවන්‍යා චරිතය නිරූපනය කරන) ගේ සුන්දරත්වයට මම ගොඩක් කැමැතියි. 

ඔයත් ටිකක් එයා වගේ නේද? 
ඔව්. ඔව්. සමහර වෙලාවට සමහර අය කියනවා මම ශිවන්‍යා වගේ කියලා. 

ලස්සන, රූපය, ජනප්‍රිය බව, හැකියාව කියන හැමදේම ඔබට ලැබුණේ කුමක් නිසා කියලද විශ්වාස කරන්නෙ?
මම හිතනවා ඒ සියල්ල දෙවියන්ගේ කැමැත්ත අනුව සිදු වෙනවා කියලා. ඊට අමතරව වාසනාව නිසාත්, උපතින් ලැබුණු සුන්දරත්වය, හැකියාව, දක්ෂතාවය කියන මේ හැම දේකම එකතුවක් විදිහටත් මම දකිනවා.

ලස්සන කියන්නෙ ආඩම්බර විය යුතු දෙයක්ද? 
නැහැ. ලස්සන කියන්නේ අපිට ලැබුණ සම්පතක්. ඒ වටිනා සම්පත තව කාවත් තලා පෙලා බලය පෙන්වන්න භාවිතා නොකළ යුතුයි. අනික මොහොතක් පාසා වයසට යන ශරීරයක් නිසා ආඩම්බර විය යුතු නැහැ නේද? 

ඇතැම් කාන්තාවන් දැක්කාම හිතෙනවා මුහුණේ ලස්සන හදවතේ ඇත්නම් කියලා. ඔබටත් එහෙම හිතෙනවාද? 
අම්මෝ. ඔව්. ඔව්. 

ජාත්‍යන්තර තරග නියෝජනය කළ අයෙකු නිසා මෙය ඔබෙන් අසන්නට හිතුණා. රූප රාජිණියන් තෝරන තරගාවලි වලදී මතුපිට සුන්දරත්වය පමණක්ම ද සොයා බලන්නේ?
පෞර්ෂත්වය, හැසිරීම, කතා කරන විලාසය, නිහතමානී බව, බුද්ධිය, සමාජීය දැනුම මේ ආදී බොහෝ දේ ගැන සොයා බලනවා. මතුපිට සුන්දරත්වය පමණක්ම නොවේ සොයා බලන්නේ. 

– අසුන්තා එදිරිසූරිය

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here