දවසක් පන්තියට ආපු ගණිත ගුරුවරිය ශිෂ්‍යයන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. A සමානයි B නම්, B සමානයි C නම්, A සමානයි C නේද? කියලා. එහෙනම්, ඒකට ගැලපෙන ප්‍රායෝගික උදාහරණයක් කියන්න කියලා ගුරුවරිය කිව්වා.

පන්තියේ හිටපු ටිකක් කටකාර කොලුවෙක් මෙහෙම කිව්වා. අයියෝ ටීචර්, ඉන්න මම කියන්නම් කියලා මෙහෙම කිව්වා. ‘මම ටීචර්ට ආදරෙයි, ටීචර් ටීචර්ගේ දුවට ආදරෙයි… ඉතින් සූත්‍රයේ ඉතිරි කෑල්ල සම්පූර්ණ කරන්න ඕන නෑනේ ද?’ කියලා.

ආදරේ කියන එක හරියටම කාඩ් අතක් වගේ. හාරත, රුවිතෙන් පටන් අරගෙන කලාබර, ස්කෝප්ප වලින් ඉවර වෙනවා. දැකපු පළවෙනි දවසේ ආදරේ වෙනවා, මුල්ම රණ්ඩුවෙන් ආදරේ ඉවර වෙනවා. ඒ ආදරේ ඇත්තටම අර්ථවත් ද? ජීවිත කාලෙටම ආදරේ තියෙන්න නම් මොනවද අපි ලඟ තියෙන්න ඕන?

ඇත්තටම ආදරේ කියන්නේ I love you කියලා කියන වචන තුනට නෙවෙයි, ඇත්තටම ආදරේ කියලා කියන්නේ ආදරේ කරන දෙන්නෙක්ගේ ස්පර්ශයෙන් දැනෙන සතුට නෙවෙයි. ඇත්තටම ආදරේ කියන්නේ ‘නාම පදයක්’ නෙවෙයි, ආදරේ කියන්නේ ‘ක්‍රියා පදයක්’.

ඒ කියන්නේ ආදරේ කියන්නේ කරන දෙයක් මිස ලබන තෑග්ගක් නෙවෙයි කියන එක. කවුරුහරි තව කාටහරි ‘මම ඔබට ආදරෙයි’ කියලා කියද්දිම අනිත් කෙනා වෙනුවෙන් සෑහෙන්න කැපකිරීම් කරන්න සූදානම් කියන අර්ථය ඒක ඇතුලේ ගැබ්වෙලා තියනවා.

ආදරය කියන්නේ රොමාන්තික හැඟීමට වඩා අනෙකාට කරන ගෞරවයක් නැත්නම් වටිනාකමක් දැනෙන හැඟීමක්. මොකද රොමාන්තික හැඟීම කියන එක එක් එක්නෙකාගේ මානසික තත්වය එක්ක වෙනස්වෙන නිසා. අද ඔබ හොඳින් සතුටින් හිටිද්දි ආදරේ කියන රොමාන්තික හැඟීම දැනුනට, හෙට ඔබ අසතුටින්නම් ඉන්නේ ඔබට ඒ කියපු රොමාන්තික හැඟීම දැනෙන්නේ නෑ.

හැබැයි අනිත් කෙනාට තියන ගෞරවය එහෙම වෙනස්වෙන්නේ නෑ. ඒ වගේම කාලයත් එක්ක ඒක විනාශ වෙලා යන්නේ නෑ. හැඟීම් හීනවෙලා ගියාට ගෞරවය හීනවෙලා යන්නේ නෑ.

ආදරේ කියන්නේ ‘තමන්ගේ අයිතිවාසිකම්’ ගැන කතාකරන එක හරි ඉල්ලීම් කරන එක හරි නෙවෙයි. ඇත්තටම ආදරේ කියන්නේ අනෙකා වෙනුවෙන් ‘වගකීමකට’ බැඳෙන එකක්. තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න අවශ්‍ය හයිය හිතට ගන්න එක මිසක්, තමන්ට ඕන දේවල් ඉල්ල ඉල්ල අරගල කරන එක ආදරේ නෙවෙයි.

ඇත්තම ආදරේ කියන්නේ ‘අනිකා ගැන ඔබ දන්නා තරම’ නෙවෙයි, ආදරේ කියන්නේ ‘අනිකා ගැන ඔබ කොයිතරම් හොයාබලනවද’ නැත්නම් ‘වගවෙනවද’ කියන එක මතයි. ඒ නිසාම තමයි ආදරේ කියන්නේ එක පැත්තකින් රැක බලාගන්න එක සහ ඒ වෙනුවෙන් හිත හයිය කරගන්න එක. ඒ නිසා ආදරේ කියන්නේ පුංචි රොමාන්තික හැඟීමක් කියන පටු තැනට කොටු කරන්න අපිට කවමදාකවත් බෑ.

තමන් ආදරය කරන කෙනා සම්පූර්ණයෙන් පිළිගැනීම තමයි ආදරයේ පරිපූර්ණ බව තීරණය කරන්නේ, ඒ කියන්නේ පුංචි පුංචි අඩුපාඩු පැත්තකින් තියලා, කෙටි කාලීන වෙනස්වීම් පැත්තකින් තියලා, ජීවිත කාලයටම පවතින විදිහට ඒ කෙනා සම්පූර්ණයෙන්ම බාරගැනීම තමයි ආදරේ කියන්නේ.

අඩුපාඩු ඉවසන එක, අර්බුද වලට මගහැරෙන්නට ඉඩදෙන එක, එක්වෙලා මුහුණදෙන එක තමයි ආදරේ ශක්තිය. ඒක නිසාම තමයි ආදරේ හරියටම රෝසමල් මිටක් වගේ බාරගන්න කියන්නේ. රෝසමල් මිට සුවඳයි, ලස්සනයි ඒත් මල් නටුවේ කටු තිබුණා කියලා කව්රුවත්ම අතෑරලා දාන්නේ නෑ.

ගෞර් ගෝපාල් දාස් ගුරුතුමන්ගේ දේශනයක් ඇසුරෙන් ය.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here