1973 අවුරුද්දේ ටෙක්සාස් හි නීතීඥවරියක් ලොව පුරා සුප්‍රසිද්ධවූ නඩු කටයුත්තක් ජයග්‍රහණය කරන්නේ එය ඉතිහාසයේ මුල්ම වතාවට ඇමරිකාව තුළ ගබ්සාව නීතිගත කිරීම වෙනුවෙන් රජයට නම්‍යශීලීවන්නට සිදුවන තැනට නීතිරීති ලිහිල් කරමින් ය. ඇය සාරා වෙඩින්ග්ටන් ය.

76 වියැති සාරා ඊයේ සිය ජීවිතයෙන් සමුගත්තේ තමන්ගේ වෘත්තීමය සහ සමාජයීය ජීවිතය පුරා ලොවපුරා කාන්තාවන් ඇතුළු ප්‍රජාව වෙනුවෙන් ඉතා විශාල කාර්යභාරයක් සිදුකරමින් ය.

එවකට ඇමරිකාව තුල ගබ්සාවට එරෙහිව පැවති නීතිමය තහංචි නිසාවෙන් කාන්තාවන් පත්ව තිබූ ඛේදජනක තත්වයන් මෙන්ම නීතිමය හිරිහැරයන් නිසාවෙන් කාන්තාවන් අනාරක්ෂිත ගබ්සාවන්ට යොමුවී ජීවිත අවදානමකට පත්ව ඇති අයුරු අවබෝධකරගෙන එකී නීතිරීතිවලට එරෙහිව නඩු පවරා ඒ වෙනුවෙන් පෙනී සිටීමට සාරා ඉතා නිර්භීතව ක්‍රියා කළා.

Wade ට එදිරිව Roe නඩුව

ගැබ්ගැනීමක් අවසන් කිරීමට එම ගැබ දරන්නා වූ කාන්තාවට ඇති අයිතිය අපරාධ වරදක් ලෙස නම්කර තිබූ වකවානුවක Jane Roe නැමති කාන්තාව විසින් Henry Wade නැමති ටෙක්සාස් ප්‍රාන්තයේ අගවිනිසුරුවරයාට එරෙහිව පැවරූ නඩුව ලොව පුරා ප්‍රසිද්ධවුණේ ඉහත නාමයෙන් ය.

Jane විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ 1969 දී ය. ඒ එවකට ඇයට තුන්වෙනි දරුවා ලැබීමට සිටින අතරතුර ඇය එකී දරු උපත සිදුවීමට හේතුව තමන්ට ලිංගික අතවරයක් සිදුවූ බවට සාක්ෂි සහිතව ඉදිරිපත් කර සිටියද, ඇයට ගබ්සාවක් කිරීමට නීතිමය ඉඩකඩ නොලැබීම පදනම් කරගෙන ය.

නමුත් අධිකරණය විසින් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගබ්සාවක් සිදුකරගැනීම වෙනුවට තමන්ව දූෂණය කරන ලද පුද්ගලයාගේ දරුවෙකු වැදීමට අධිකරණය විසින් ඇයට බලකරමින් නියෝග නිකුත් කරන ලදි.

සාරා සටනට

නමුත් 1973 දී Jane තමන්ට සිදුවූ අසාධාරණය පදනම් කරගෙන නැවත අධිකරණයට අපෑලක් ඉදිරිපත් කළ අතර එහිදී ඇය වෙනුවේන ඉදිරිපත් වූයේ සාරා වෙඩින්ග්ටන් සහ ඇයගේ යෙහෙළියක් වූ ලින්ඩා කොෆී ය. එවකට සාරා වයස 26ක තරුණ නීතිඥවරියක් වීම කැපී පෙනෙන සිදුවීමකි.

කෙසේ වෙතත් සාරා සහ ලින්ඩාගේ සාධක සහිත තර්කයන් හමුවේ විනිසුරුවරුන් 7 දෙනෙක්ගෙන් යුක්ත මණ්ඩලයේ පස් දෙනෙකුගේම තීරණය වූයේ කාන්තාවන්ට ගැබ්ගෙන පළමු මාස තුන ඇතුළත ගබ්සාවක් සිදුකිරීමේ අයිතිය හිමිවිය යුතු බවය.

ඒ නිසාවෙන් සාරාගේ මේ සටන ලොවපුරා කාන්තාවන් වෙනුවෙන් සිදුකල විප්ලවයක එක්තරාජ සැලකිය යුතු ජයග්‍රහණයක් විය.

සාරාගේ සමුගැනීම

මිය යන විට විවිධ රෝගාබාධ ගණනාවකින් පිඩා විඳිමින් සිටි සාරා ඒ වනවිටත් කාන්තාවන් වෙනුවෙන් විවිධ සමාජ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටියහ. එසේම කලක් ඇය ටෙක්සාස් නියෝජනය කරමින් මහජන මන්ත්‍රණසභාවේ ද සාමාජිකාවක් විය.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here