යෝග අභ්‍යාස එහෙමත් නැත්නම් යෝග ව්‍යායාම කියන්නේ ලෝකයේ බොහෝ රටවල ඉතා විශාල පිරිසක් සුවබර ජීවිතයක් වෙනුවෙන් පුරුදු පුහුණ කරන ව්‍යායාම ක්‍රමයක්. ඇත්තටම එය ව්‍යායාම ක්‍රමයක් විතරක්ම නෙවෙයි. ඒ මගින් ඔබේ ජීවිතයේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය හිතකාරදායී ආකාරයට වෙනස්කිරීමකට පුහුණු කරනවා.

යෝග කියන්නේ මොකක්ද?

‘යෝග’ කියන සංස්කෘත භාෂාවේ එන වචනයක්. එහි අර්ථය හැදෙන්නේ ‘යුග්’ නැමත් වචනය එක්කයි. ඒ කියන්නේ බැඳුම හෝ බන්ධනය නැත්නම් ඒකරාශීවීම යන්නයි. යෝග අභ්‍යාස සම්බන්ධයෙන් ඉගැන්වීමේදී එය හඳුන්වන්නේ ‘මිනිසා සතු ශක්තිය සහ දෙවියන්ගේ ශක්තිය සම්බන්ධ කිරීම නැත්නම් ඒකරාශී කිරීම’ කියලයි.

පතංජලී නැමති ඈත ඉතිහාසයේ ඉන්දියාවේ විසූ මුනිවරයා විසින් ලියන ලද ‘යෝග සූත්‍ර’ නම්වූ පුස්තය ඇසුරෙන් තමයි අපි මේ ඉගනගන්න යෝග අභ්‍යාස ක්‍රමය ඉගැන්වෙන්නේ. ඒත් ඇතැම්විට ඊටත් පෙර යුගයේ එම ශාස්ත්‍රය ඉන්දියාවේ පවතින්න ඇතැයි කියලා විශ්වාස කරනවා.

යෝගියා

යෝග අභ්‍යාස අනුගමනය කරන හෝ අධ්‍යනයනය කරන තැනැත්තා ‘යෝගියා’ යනුවෙන් හඳුන්වනවා. ඔබ අද ඉඳන් යෝග අභ්‍යාස කරන්න පටන්ගන්නවානම් ඔබට එය අධ්‍යයනය කරමින් පුහුණු කරන්න පුළුවන්. එතකොට ඔබ යෝගියෙක් බවට පරිවර්තනය වෙනවා.

මේ යෝග අභ්‍යාස අනුගමනය කිරීමෙන් මනස – විඥානය හා මමත්වය පාලනය කිරීම මගින් පුද්ගලයෙක්ට සංසිඳීම හෙවත් සන්සුන්වීම ලඟා කරගන්න පුළුවන් කියන එකත් ඒ මගින් සැහැල්ලුවෙන් ශරීරය සහ මනස පවත්වාගැනීමෙන් සුවබර දිවියක් ලඟාකරගන්න පුළුවන් කියලා යෝග ශාස්ත්‍රයේදී ඉගැන්වෙනවා.

යෝග ක්‍රමයේ පියවර

යෝග ශාස්ත්‍රය කියන්නේ බොහොම ගැඹුරු ශාස්ත්‍රයක්. ඒත් එය සරල තැනකින් පටන් අරගෙන ඉගනගන්න වගේම අවශ්‍ය තැන්වලදි පුහුණුකරුවෙක්ගේ හෝ ගුරුවරයෙක්ගේ සහය ලබාගන්නත් පුළුවන්. යෝග ක්‍රමයේ මූලික පියවර අටක් තිබෙනවා.

  • යාම (විශ්ව සාධාරණ ධර්මය)
  • නියාම (හික්මීම ඉගැන්වීම)
  • ආසන හෙවත් (ඉරියව්)
  • ප්‍රාණයාම (ශ්වසනය පාලනය)
  • ප්‍රත්‍යහාර (බාහරි බලපෑම්වලින් සිත නිදහස් කරගැනීම)
  • ධාරණ (සිත එකඟ කරගැනීම)
  • ධ්‍යානය (භාවනාව)
  • සමාධි (අධි විඥානික අවස්ථාවට පිවිසීම)

සරලව පියවරවලින් කියන්නට පුළුවන් උනත් මේක බොහොම සංකීර්ණ වගේම ඉතාම කැපවීමෙන් ඉගනගන්න ඕන සහ පුහුණු කරන්න ඕන ශාස්ත්‍රයක්. හැබැයි එයින් සාර්ථකවුණු ප්‍රතිඵල ලබාගත්ත ඕනෑතරම් අය ඔබට හමුවේවි.

යෝග ශාස්ත්‍රයේ මූලික කරුණු

යෝග අභ්‍යාස ඉගනගන්න නම් මුලින්ම එහි මූලික සිද්ධාන්ත සහ වටපිටාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න ඕන. ඒ නිසා අපි මේ යෝග ශාස්ත්‍රය ඉගනගන්නා පාඩම් මාලාවෙදි මුලින්ම මේ ශාස්ත්‍රයේ මූලික කරුණු එකිනෙක ඉගනගන්න වෙනවා. ඊට පස්සේ යෝග අභ්‍යාස ක්‍රම ඉගැන්වීම සිදුකරනවා.

ඒ නිසා අද ඉඳන් ඒ මූලික කරුණු ටික එකින් එක සරලව ‘ලක්වාහිනී’ වෙබ් අඩවියෙන් ඔබට පැහැදිලි කරලා දීලා සුවබර දිවියක් වෙනුවෙන් යෝග අභ්‍යාස ක්‍රම භාවිතා කරන්න අවශ්‍ය සියලුම දැනුම අපි ඔබට ලබාදෙන්න පොරොන්දු වෙනවා.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here