ඔබේ සිරුර ලස්සන කරගන්න, පැහැපත් කරගන්න සමහරවිට ඔබ විවිධ රසායනික ආලේපන පාවිච්චි කරනවා ඇති. නැත්නම් විවිධ පෙති වර්ග බොනවා ඇති. ඒත් නැත්නම් ලේසර් ප්‍රතිකාර, එන්නත් වගේ දේවල්වලින් ඔබේ සිරුරේ පැහැපත්භාවය හොයන්න මහන්සිවෙනවා ඇති.

ඒත් මී පැණි පාවිච්චි කරලා ඔබේ සිරුර පැහැපත් කරගන්න වගේම සුවපත් කරගන්න පුළුවන් කියලා ඔබ අහලා ඇති. ඒත් හරියටම මී පැණිවලින් සිරුර පැහැපත් කරගන්න හැටි ඔබ දන්නේ නැතිව ඇති. මොකද මී පැණි කියන්නේ ස්වාභාවික දෙයක් වුණත් නිකම්ම සිරුරේ ආලේප කලාට, ඔබේ සිරුරට ඔබ බලාපොරොත්තුවෙන ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. විශ්වාස නැත්නම් කරලම බලන්න.

හැබැයි මෙන්න මේ විදිහට මී පැණි සකස් කරගත්තොත් සහතිකයෙන්ම ඔබේ සිරුර වඩා පැහැපත් කරගන්න, කළු ලප වගේම අවපැහැගැන්වුණු තැන් ඉවත්කරන්න ඔබට ඉඩකඩ ලැබෙනවා.

මුලින්ම කියන්න ඕන ඇයි මි පැණි ඔබේ සිරුරට සත්කාරයක් විදිහට පාවිච්චි කරන්නේ කියලා.

  • මී පැණි කියන්නේ ස්වාභාවික විෂබීජ නාශකයක්.
  • ඒ වගේම ස්වාභාවික පෝෂක මාධ්‍යයක්.
  • මී පැණි මගින් සම මත තෙල් වර්ධනය කරලා සම වියලීමෙන් ආරක්ෂා කරනවා.
  • සම මත pH අගය නිසි ආකාරයෙන් පවත්වාගැනීමට දායක වෙනවා.

මෙන්න මේ හේතු නිසා මී පැණි කියන්නේ සමේ පෝෂණයට ඉතා ඉහළ දායකත්වයක් දෙන ස්වාභාවික ඖෂධයක් කියන එක පැහැදිලියි. දැන් අපි බලමු සමේ ආලේප කරන්න අවශ්‍ය විදිහට මි පැණි ද්‍රාවණය හදාගන්නේ කොහොමද කියලා.

පිරිසිදු ස්වාභාවික මි පැණි මිළට ගෙන ඒවා විදුරු භාජනයක් හෝ බෝතලයක් තුල පරිස්සමින් ගබඩා කරගන්න. අවශ්‍යනම් ශීතකරණයේ වුණත් තියන්න පුළුවන්. හැබැයි පාවිච්චියට ගන්න පැයකට විතර කලින් ශීතකරණයෙන් එළියට අරගෙන සාමාන්‍ය රස්නය ඇති තැනක තියන්න.

ඊට පස්සේ සම මත තියන දූවිලි සහ වෙනත් ආලේපන තිබෙනවනම් ඉවත් කරන්න ආමන්ඩ් තෙල් හෝ වෙනත් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා සෝදන්න. ඊට පස්සේ මුහුණ හොඳින් වියලාගෙන නැවත මද රස්නේ වතුරෙන් මුහුණ තෙත් කරගන්න.

මී පැණි අත්ලට අරගෙන සමමත තවරා හොඳින් සම්බාහනය කරන්න. සම මත මී පැණි හොඳින් තැවරෙන ආකාරයට වගේම සමට පෝෂණයක් ලැබෙන ආකාරයට සම්බාහනය කරන්න. මේ විදිහට තවරාගත්ත මී පැණි සම මත විනාඩි 10-20ක් විතර තිබෙන්න හරින්න.

ඊටත් පස්සේ cleanser එකක් පාවිච්චි කරලා මුහුණ මත තිබෙන මී පැණි ඉවත් කරගන්න. පසුව මද රස්නේ ජලයෙන් සම හොඳින් සෝදාගන්න. ඉන් පසුව වියළි රෙදි කඩකින් සම මත තෙත මාත්තු කරගෙන වියලා ගන්න. අවශ්‍යනම් ටෝනර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්.

සතියකට දෙතුන් පාරක් මේ සත්කාරය කරන්න පුළුවන්නම් ඔබටම දැකගන්න පුළුවන් මී පැණි කියන්නේ කොච්චර පුදුමුසහගත ඖෂධයක්ද කියලා.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here