ලංකාවේ ප්‍රසිද්ධ ගීයක කොටසක් තියනවා ‘ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි’ කියලා. පද්‍යාර්ථය ගත්තට පස්සේ ගැහැණියකගේ විතරක් නෙවෙයි ඕනම පුද්ගලයෙක්ගේ හිත ලස්සන වීමත් එක්ක ආකල්ප යහපත්වීම සිද්ධවෙන එකත්, එහෙම පුද්ගලයන්ගේ එකතුවකින් නිර්මාණය වන සමාජයක් යහපත්වීම සහ ධනාත්මකවීම සරල සාමාන්‍ය න්‍යායක්.

හැබැයි එතනම තියන ‘ලස්සන කන්නද?’ කියන ප්‍රශ්නාර්ථයෙන් හරි ලස්සන එහෙමත් නැත්නම් රූමත්භාවය කියන එක ආකල්පවල යහපත්භාවය එක්ක සංසන්දනය කිරීම එක පැත්තකින් ප්‍රායෝගිකද? කියන එක වගේම එහෙම කරන්නේ ඇයි? කියන එක විතරක් නෙවෙයි, ඇත්තටම ‘ලස්සන’ වැඩක් ඇත්තෙම නැද්ද කියලා ටිකක් කතා කරන්න ඕන.

‘ලස්සන කන්නද’ කියන ප්‍රශ්නය ලෝකයේ අහන්නේ පුද්ගල කොට්ඨාශ දෙකක් විසින්. එක පිරිසක් තමයි අවලස්සන ගැහැණු ( හැබැයි මේ අවලස්සන කියන්නේ ලස්සන කියන දේ සාපේක්ෂ බව නොදන්නා ගැහැණු යි), අනිත් පිරිස ලස්සන ගැහැණු නොලැබෙන සහ නොලැබුණ පිරිමි. මෙන්න මේ කුලකයට අයත් පිරිස තමයි බොහෝ වෙලාවට ‘ලස්සන’ කියන එක පහත් කරලා දාලා, එය අපහාසයට නැත්නම් හෑල්ලුවට ලක්කරලා ඒකට සාපේක්ෂව ‘හිත ලස්සන’ කියන වචනාර්ථය උස්සලා තියන්නේ.

ලස්සන කන්නද? කියලා අහන පිරිමින්ට වගේම ගෑණුන්ටත් උත්තර දෙන්න පටන්ගත්තේ ලෝකයේ සිනමාව, නිරූපණ ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍රවල ඉන්න පිරිස තමයි. ලෝකය පුරා පවත්වන රූප රාජිනියන් තෝරණ තරඟවලදි එයින් ජයග්‍රහණය කරන තරුණියන්ට ලෝකය පුරාම නිරූපණ ක්ෂේත්‍රයේ, සිනමාවේ විතරක් නෙවෙයි රාජ තාන්ත්‍රික තනතුරු, ආයතනික තනතුරු වගේ දේවල් වැඩි වැඩියෙන් ලැබෙද්දි ඒක කෙනෙක්ගේ ලස්සන කියන්නේ හුදෙක් දැකලා සතුටුවෙන් තියන සංකල්පීය දේකට වඩා එහා ගිය ජීවිතය තරණය කළ හැකි පාළමක් කියලා බොහෝ දෙනෙක් දැනගත්තා.

පහුගිය දවසක පැවැත්වුණු 70 වැනි විශ්ව රූ රැජින තරඟයෙන් තරඟකාරියන් 80ක් පරාජය කරමින් ජයගත්තේ ඉන්දියානු සුරූපිණියක් වන හර්නාස් සඳූ කියන තරඟකාරිය. ඊශ්‍රායලයේදී පැවති මේ තරඟයෙන් 21 හැවිරිඳි ඇය ජයගනිද්දි ඉතිහාසය පුරාම ඉන්දියාව ලොවට රූමතියන් හඳුන්වාදීමේ ක්ෂේම භූමිය කියන අර්ථකථනය නැවත අළුත් වුණා.

හැමදේකටම වඩා වැදගත්වෙන්නේ සාම්ප්‍රදායිකව කාන්තාවකගේ සැමියා මිය ගියාට පස්සේ වැන්ඳඹු බිරිඳ දර සෑයකට පැනලා ‘සති පූජාව’ කරන්න ඕන කියලා කෲරතර සංස්කෘතික වටපිටාවක් තිබුණු ඉන්දියාවේ, අද තරුණියන් නාන ඇඳුමෙන් පවා සැරසිලා විලාසිතා ලෝකය ජයගන්න ඉඩකඩ විවරවෙලා තියනවා කියන පණිවිඩය එක්ක ලෝකයේ අනෙකුත් සාම්ප්‍රදායික රාමුව ඇතුලේ ගැණු හිරකරගෙන දුක්දෙන රටවල් වලට වදින්නේ දැවැන්ත කණේ පහරක්.

ඊටත් එහා ගිහිල්ලා ලෝකය පුරා සුප්‍රසිද්ධවුණු ‘නිල් චිත්‍රපට රංගන ශිල්පිණියක්’ වන සනී ලියෝන්ට ඉන්දියාවේ සිනමාවේ දොර විවරවුණානම් සම්ප්‍රදායට බම්බු ගහන්න කියලා ගෑණු ඉස්සරහට යන්න පටන් අරන් කියන එක විතරක්ම නෙවෙයි සම්ප්‍රදාය පැත්තකින් තියලා ලෝකයම ඒවා බාරගන්න තැනට පත්වෙලා කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ.

India’s Harnaaz Sandhu becomes Miss Universe 2021

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here