වියට්නාමය කියන්නේ ආසියාතික රටවල් අතරින් ආවේණික ආහාර සංස්කෘතියක් ඇති තවත් රටක්. වියට්නාමය බොහෝවිට ආහාර පිසීමට භාවිතා කරන්නේ ශරීරයට ඉතා හිතකර ශාකසාර දේවල් නිසා වගේම ඔවුන් ආහාරවල නැවුම් ස්වභාවය ඒ ආකාරයෙන් තබාගෙන ආහාරයට ගන්න කැමති රටක් විදිහට බොහොම රස වගේම ගුණදායී ආහාර වියට්නාමයේ නම් අඩුවක් නෑ.

අපි අද වියට්නාම් ක්‍රමයට Lemongrass Chicken එකක් හදාගන්න විදිහ බලමු. මේක වියට්නාමයේ වගේම ඒ රටේ සංචාරයට යන විදේශිකයන්ගේ ප්‍රියතමක ආහාරයක්. මුලින්ම බලමු මේ සඳහා අවශ්‍ය දේවල් මොනවද කියලා.

කපාගත් කුකුළු මස් 500g (කටු රහිතව)
Lemongrass කැබැල්ලක් (50-70g)
සුදු ළූණු කැබලි 4ක්
ලොකු ළූණූ මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක්
අමු මිරිස් කරල් කිහිපයක්
තෙල් 50ml (පොල් තෙල් හෝ පිසින තෙල්)
මාළු සෝස් මේස හැඳි 2ක්
ගම්මිරිස් මේස හැඳි භාගයක්
සීනි මේස හැඳි 2ක්

දැන් මේ Lemongrass Chicken එක හදාගන්නේ මෙහෙමයි.

මුලින්ම Lemongrass අතු කැබැල්ල හොඳින් සිහින්ව කපාගන්න. සුදු ළූණු සහ අමුමිරිස් කපාගෙන Lemongrass කැබලි සමග මිශ්‍ර කරන්න. එයට කපාගත් ලොකු ළූණු කැබලි එකතු කරන්න.

මේ චිකන් එක සඳහා අවශ්‍ය සෝස් එක සාදාගැනීමට කුඩා භාජනයකට මාළු සෝස් හැඳි දෙක, සීනි හැඳි දෙක සහ ගම්මිරිස් එකතු කර සීනි දියවී යන තෙක් මිශ්‍රකරගන්න. දැන් එය මද වේලාවක් පදම් වීම සඳහා තියාගන්න.

දැන් භාජනයක් ලිප තබා හොඳින් ගින්දර දල්වා එයට තෙල් දමන්න. කපාගත් චිකන් එයට දමාගෙන චිකන් කැබලි මදක් රන් පැහැ වනතෙක් බැදගන්න. මෙහිදී ගැඹුරු තෙලේ බැදීම අවශ්‍ය නොවන අතර චිකන් ප්‍රමාණයට පමණක් තෙල් දමාගෙන චිකන් කැබලි දෙපැත්ත හරවමින් බැදගන්න.

තෙල් ස්වල්පයක් පමණක් භාජනයේ තබාගෙන ඉතිරි තෙල් ඉවත් කරන්න. ඉන් පසු චිකන් සහිත භාජනයට Lemongrass සහිත මිශ්‍රණය එකතුකරන හොඳින් මිශ්‍රකරමින් පිසගන්න. මෙහිදී ගින්දර මද ප්‍රමාණයෙන් තබාගැනීම ප්‍රමාණවත් වේ. විනාඩි තුනක් පමණ මේ විදිහට පිසගත්පසු එයට සෝස් මිශ්‍රණය එකතුකර නැවත හොඳින් මිශ්‍රකරමින් පිසගන්න.

විනාඩි කිහිපයකින් ඔබට හොඳ සුවඳක් එක්කම මේ Lemongrass Chicken එක සූදානම් කියලා බලාගන්න පුළුවන්. මෙය වෙනත් භාජනයකට දාගෙන එයට කොළපාට පිපිඤ්ඤා පෙති ටිකක්, සලාද කොළ, කොත්තමල්ලි කොළ හෝ මිංචි කොළ සමගින් පිළිගන්නවන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි වියට්නාමයේ ක්‍රමයට Lemongrass Chicken හදාගන්නේ. ගෙදරදි උත්සහ කරලා බලන්නකෝ කොච්චර රසවත් කෑමක්ද කියලා මේක.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here