දෙසැම්බර් මාසය කියන්නේ නුවරඑළියේ සැණකෙලි සිරි මතුවෙන කාලය. මේ කාලයට වැහි කෝඩය අඩුවීමත් එක්ක නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 ටත් වඩා අඩු මට්ටමට පහත වැටෙනවා. ඒ නිසා දෙසැම්බර් ඉඳන් පෙබරවාරි වෙනකල්ම නුවරඑළියේ තියෙන්නේ බොහොස සීතල දේශගුණික තත්වයක්.

ගොඩක් දෙනෙක් මේ කාලයට නුවරඑළියේ සංචාරයේ යන නිසා ඒ අතරදි ඔබට දැකබලාගන්න සොඳුරු තැනක් ගැනයි මේ ලියවෙන්නේ. වැදගත්ම දේ තමයි මේ ස්ථානය සොඳුරුවීම වගේම එය ලංකාවේ ඉතිහාසයට නුවරඑළියෙන් ඇතුල්වෙන්න පුළුවන් ද්වාරයක් විදිහටත් සලකන්න පුළුවන්වීම.

සීතා කෝවිල පිහිටලා තියෙන්නේ නුවරඑළියේ ‘සීතා එළිය’ කියන බොහොම සුන්දර පෙදෙසක. නුවරඑළිය නගරයේ ඉඳන් බදුල්ල පාරේ කිලෝමීටර් 5ක විතර දුරක් යද්දි පාරේ වම් පැත්තට වෙන්න පිහිටා තිබෙන හින්ඳු සංස්කෘතික ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව ඉදිකර තිබෙන සීතා කෝවිල පහසුවෙන්ම හඳුනගන්න පුළුවන්.

සීතා අම්මාන් කෝවිලේ ඉදිරිපස දර්ශනයක් (ඡායාරූපය – ශ්‍රී ලංකා ට්‍රැවල් කල්චර්)

නුවරඑළියේ ඉඳන් හග්ගල උද්හිත උද්‍යානය නරඹන්න යනවනම් අනිවාර්යයෙන්ම ඔබට සීතා කෝවිල දැකබලාගන්න සහ වැඳපුදාගන්නත් පුළුවන්. මොකද හග්ගල උද්‍යානයට කිලෝමීටරයක් මෙපිටින් තමයි සීතා කෝවිල පිහිටලා තියෙන්නේ.

ඉතිහාස කතාවන්ට අනුව ලංකාවේ රජකල රාවණා රජු විසින් සීතා දේවිය පැහරගෙන විත් රඳවා තැබූ ස්ථානය මේ සීතා කෝවිල ඇති තැන කියලා විශ්වාස කරනවා. මේ ප්‍රදේශයට සීතා එළිය කියන්නෙත් ඒ නිසාමයි කියන එක ගැමියන්ගේ විශ්වාසය යි. කොහොමවුනත් කෝවිලට පහළින් ගලාගෙන යන දිය පාරේ මැද ඇති ගල් තලාවේ ගැඹුරට නෙරාගිය සලකුණු වානරයෙකුගේ අඩි සලකුණු වගේ පෙනෙන නිසා ඒවා සීතා බේරාගන්නට පැමිණි හනුමාගේ අඩි සලකුණු කියලා හින්ඳු බැතිමතුන් විශ්වාස කරනවා.

හනුමා අඩි සළකුණු යැයි විශ්වාස කරන කටාරම් (ඡායාරූපය – ශ්‍රී ලංකා ට්‍රැවල් කල්චර්)

මේ ස්ථානය වැඳපුදාගන්න ලංකාවේ විතරක් නෙවෙයි ඉන්ඳියාවෙන් පවා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනවා. ඉතාම නිසකලංක තැනක් වෙන සීතා කෝවිල ඉතා ඉහළ සෞන්දර්යයකින් යුක්ත අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පයකින් අලංකාරවී තිබෙනවා.

ඒ නිසාම නුවරඑළියේ සංචාරයට යන ඔබ සීතා එළිය කියන්නේ ආගමික සංස්කෘතික භේදයකින් තොරව අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තැනක්.

සීතා අම්මාන් කෝවිලේ ඇතුලත (ඡායාරූපය – ශ්‍රී ලංකා ට්‍රැවල් කල්චර්)
- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here