මීට අවුරුදු කීපයකට කලින් ලංකාවේ සමාජ ජාලයන් වගේම Blog, forum හැමතැනකම කතාබහට ලක්වුනේ කාන්තාවකගේ නාමයෙන් සිදුකෙරුන මහා වංචාවක් සම්බන්ධයෙන්. සමාජ ජාල වෙබ් අඩවිවල සුප්‍රසිද්ධ නිර්මාණකාරිනියක් විදිහට හඳුනගත්තු තරුණියක් විසින් කරපු මහා පරිමාණ මුදල් වංචාවක් ගැන.

මෙහෙම සිද්ධි ලංකාවේ ලෝකයේ බොහොම සාමාන්‍ය දේවල් බවට පත්වෙන්න පටන් අරගෙන. විශේෂයෙන්ම සමාජ ජාල භාවිතයන් ලංකාව තුල වඩාත්ම ප්‍රචලිත වෙන්න පටන්ගත්තේ 2008 වසරේ වගේ ඉඳන්. ඊටත් පස්සේ සාමාන්‍ය ජංගම දුරකතන වලට වඩා Smart Phones ජනතාව අතර බහුලවෙන්න පටන්ගැනීම එක්ක hi5, facebook, twitter විතරක් භාවිතා කරපු ජනතාව අලුත් අලුත් Chat app වලට එකතුවෙන්න පටන් ගත්තා.

Viber, Whatsapp, Imo, Skype වගේ විවිධ මාර්ග හරහා පුද්ගලයන් පුද්ගලයන් අතර සන්නිවේදනය දියුණු වුණා. ඒත් මේ සන්නිවේදන ක්‍රමයේ තිබුණ බරපතලම අවාසියක් සහ දරුණුම අවදානම තමයි තමන් එක්ක අදහස් හුවමාරු කරගන්න අනෙක් කොනේ ඉන්න කෙනා කව්ද කියලා හරියටම අඳුරගන්න බැරිවීම.

ඒ අවාසිදායක තත්වය එක පැත්තකින් අවාසියක් වුනත්, තවත් දුරදිග නොබලන්නාවූ පිරිසකට මෙය අලුත් අත්දැකීමක්, එහෙම නැත්නම් අමුතු කුතුහලය මිශ්‍ර සතුටක් බවට පත්වුණා. ඒත් මේ අවාසිය, නැත්නම් මේ දුර්වලතාවය දඩමීමා කරගත්ත පිරිසක් තමන්ගේ මූල්‍යමය අවශ්‍යතා, ලිංගික අවශ්‍යතා විතරක්ම නෙවෙයි පුද්ගලික තරහා පිරිමසාගැනීමටත් පාවිච්චි කරන්න පටන්ගත්තා.

සරලම උදාහරණයක් තමයි මේ ලිපියේ මුලින්ම ලියවුනේ. ඒ වගේම තවත් කීයක්නම් තරුණියන්, කාන්තාවන් ඉන්නවද තමන් එක්ක චැට් කරන අනෙක් කොනේ ඉන්න නොදන්නා කෙනෙක් එක්ක කාලයක් තිස්සේ අදහස් හුවමාරුකරගෙන, ඒ පුද්ගලයා එවන ව්‍යාජ තොරතුරු මත විශ්වාසය තියලා තමන්ගේ පුද්ගලික තොරතුරු කියලා, පස්සේ නැතිවම බැරි කෙනෙක් බවට පත්වුණාම තමන්ගේ නිරුවත් ඡායාරූප පවා ඒ පුද්ගලයාට යවන තැනට පත්වෙන. එහෙම යවපු ඡායාරූප, වීඩියෝ කොයිතරම් නම් අන්තර්ජාලය පුරා අදටත් සැරිසරනවද.

එහෙම දෙයක් වුනාට පස්සේ පොලීසි ගානේ, උසාවි ගානේ රස්තියාදු වෙන්න වුනාම, සමාජය ඉස්සරහා තමන්ගේ අභිමානය, චරිතය විනාශයට පත්වුණාම ජීවිතය නැතිකරගත්ත සහ නැතිකරගන්න උත්සහ කරපු සහ කරන කීදෙනෙක්නම් අපේ රටේම ඉන්නවද? අන්න ඒ වගේ flat වුණ සහ flat වෙමින් යන ජීවිතවලට තමයි මේ ලිපිය ඉතාම වැදගත් වෙන්නේ.

ප්‍රධානම දේ තේරුම්ගන්න ඕන අපි ජීවත්වෙන්නේ බොහොම ලස්සන, ධාර්මික, සුන්දර සමාජයක නෙවෙයි කියලා. අධ්‍යාපනයේ, ජානවල, සමාජ පසුබිමේ තිබෙන අඩුපාඩු එක්ක මේ ලෝකේ වැඩෙන ඇතැම් පුද්ගලික චරිත වලට මනුස්සයෙක්ව අමාරුවේ දාන එක බොහොම සිම්පල් වැඩක්. ඒ නිසා බොහොමයක් එහෙම චරිත සමාජ ජාල වෙබ් අඩවිවල සහ චැට් ඇප්ලිකේෂන් වල අඩු නැතිව ඉන්නවා.

මේ පුද්ගලයෝ කාන්තා පිරිමි කියලා වෙනසක් නෑ. තමන්ගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න ඕනම විදිහකට කටයුතු කරනවා. එහෙම සිද්ධියක් ගැන ඔබ දැනගන්න ඕනමයි.

ලංකාවේ ආණමඩුව ප්‍රදේශයේ තරුණියක් facebook එකට අලුතින් සම්බන්ධවෙලා ටික දවසක් හිටිද්දි ඇයගේ මිතුරු ලයිස්තුවේ ඉන්න නිතරම කවි සිතිවිලි හුවමාරු කරන, ඡයාරූප ගන්න තරුණයෙක්ගේ කවිවලට, ඡායාරූපවලට ඇය නිතරම Like කරන්න පටන් ගත්තා. මෙහෙම කාලයක් යද්දි අර තරුණයාගෙන් මේ තරුණියට චැට් පණිවිඩයක් ලැබෙනවා. තමන් ප්‍රියකරන චරිතය මෙහෙම තමන්ටම ආමන්ත්‍රණය කරද්දි තරුණියට හිතාගන්න බැරිවෙනවා. මේ කතාබහ ටිකෙන් ටික දුර යනවා. තරුණියට තරුණයාව නැතිවම බැරිවෙනවා. මෙහෙම තියෙද්දි දවසක් තරුණයා ෆේස්බුක් එකේ පලකරනවා තමන්ට හදිසි ශෛල්‍ය කර්මයක් කරන්න තියනවා ඒකට ලොකු ගාණක් අවශ්‍යයි කියලා.

මේක දකින තරුණිය බොහොම කණගාටුවෙන් තරුණයාට මැසේජ් කරනවා. තරුණයාත් බොහොම කවි සිතිවිලි වලින් අනූන වචනවලින් තරුණියට තමන්ගේ අසනීපය කියනවා. තරුණිය අන්තිමට මේ නොදන්න තරුණයාගේ ශෛල්‍යකර්මය වෙනුවෙන් තමන්ගේ විවාහය සඳහා තාත්තා තැන්පත් කර තිබුණු රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ තමන්ගේ රත්තරන් බඩු උගස් කරලා ගත්තා ලක්ෂ එකහමාරක මුදලක් තරුණයාගේ ගිණුමේ තැන්පත් කරනවා.

බොහොම ස්තූති කරපු, පින්දීපු තරුණයා ටික දවසකින් චැට් කරන එක අඩුවෙනවා. තරුණිය හිතනවා ශෛල්‍යකර්මය කරන්න ඇති කියලා. ඇය දිගින් දිගටම මැසේජ් කලත් පිළිතුරු නෑ. අන්තිමට තරුණයාගේ facebook ගිණුම අතුරුදහන් වෙනවා. තරුණිය පිස්සුවෙන් වගේ රටපුරා ඔහු විවිධ මාර්ගවලින් හොයනවා. අන්තිමේදී ඇය දැනගන්නවා මේ පුද්ගලයා අවුරුදු 55ක් වෙන දරුවන් දෙදෙනෙක්ගේ පියෙක් කියලා. ඔහු මෙම වංචාව තවත් තරුණියන් ගණනාවකට කරලා තියනවා කියලා. අන්තිමට තරුණිය ළිඳට පැනලා මැරෙන්න උත්සහ කරනවා. ඒත් ඇයගේ ජීවිතය බේරෙනවා, ඒත් අදටත් ඇය නොමැරී මැරෙනවා.

මේක තමයි සමාජ යථාර්තය. ඩිජිටල් තාක්ෂණික උපකරණ පිටිපස්සේ ඉන්නේ සාමාන්‍ය මනුස්ස හිත්. ඒවල සුන්දර දේවල් වලට වඩා අසුන්දර, කැත දේ පිරිලා. ඒක නිසා කිසිම දවසක මේ තාක්ෂණික උපකරණයක්, සන්නිවේදන මාර්ගයක් පිටිපස්සේ ඉන්න නොදන්න, නොහඳුනන, නොදැකපු මනුස්සයෙක්ව විශ්වාස කරන තරමට මෝඩ වෙන්න එපා. එහෙම ජීවිතේ විනාශ කරගත්තු මිනිස්සු අනන්තයි.

ඔබ කවදා හෝ අසා තිබෙනවනම් ශ්‍රී ලංකා පෙලීසියේ ළමා හා කාන්තා අංශයේ පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ දේශනයක්, ඇය අනන්තවත් මේ වගේ සිද්ධි ගැන රටට හෙලිකරනවා. ඒ නිසා මේ සුන්දර රට ඇතුලේ මෙහෙම අසුන්දර මනුස්ස කණ්ඩායම් ජීවත්වෙනවා කියන එක මතක් කරගෙන ඕන chat එකක් කරන්න.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here