“ඇඳුම” කියන්නේ සාමාන්‍යයෙන්, පොදු අර්ථකථනයට අනුව විළි වසාගන්න භාවිත කරන දෙයක්නේ. ඒත් එක්කම සමහර වෙලාවට විවිධ දේශගුණයන්ගෙන්, මැසි මදුරු උවදුරු, අනතුරුවලින් ආරක්ෂා වීම වගේ දේවලුත් බලාපොරොත්තු වෙනවා. මේවා තමයි ඇඳුමෙන් මූලිකවම අපේක්ෂා කළේ. නමුත් අපි තාම ඉන්නෙ එතැන නෙවෙයි. පසුකාලීනව ඇඳුම කියන එක ඔය මූලික අරමුණේ විතරක් ඇලිලා නොයිඳ ඉදිරියට ඇදෙනවා. ඒ අනුව තමයි ඇඳුම සංස්කෘතිකාංගයක් වෙන්නෙ. ජාතික ඇඳුම් කියලා සංකල්පයක් අපි ඉස්කෝලෙදිත් උගන්නන්නෙ. ඒ ඒ ජාතියට, ජන කොට්ඨාසයට ඒ ඒ ඇඳුම් ආවේණික වෙන්නෙ. 

එකම ජන කොට්ඨාසයක් ඇතුළෙ වුණත් එහෙම අනන්‍යතා රාශියක් බිහිවෙලා තියෙනවා. ලංකාවේ උඩරට, පහත රට වගේ ඊට අමතරව කුල භේද, පන්ති භේද වගේ ඒවා ඉස්මතු කරන්නත් ඇඳුම උපයෝගි කරගන්නවා. මේ සියලු කඩයිම් පැනගෙන 21 වැනි සියවසට එන්නෙ විලාසිතාව කියන සාධකය ප්‍රමුඛ කරගෙන. ඇඳුමක් තෝරාගනිද්දී, අඳිද්දී සංස්කෘතිය, කුලය, පන්තිය වගේ දේවල් තවදුරටත් අපි වලංගු කරගන්නෙ නෑ. ඒ වෙනුවට මූලිකත්වය දෙන්නෙ විලාසිතාවට, ෆැෂන් එකට. කාලෙන් කාලෙට විලාසිතා අලුත් වෙනවා. කොහොම හරි ඇඳුම කියන්නෙ පෞද්ගලික තෝරා ගැනීමක්නෙ. ඉතින් කෙනෙක්ට ලස්සන දෙයක් තව කෙනෙක්ට කැතවීම ස්වාභාවිකයි. ඒ නිසා අනුන්ට කරදරයක් නොවෙන සීමාවේ තමන් කැමැති ඇඳුමක් අඳින්න නිදහස හැමෝටම තියෙන්න ඕනෙ කියන කතාව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. 

කොහොම හරි එක වතාවක් රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් වුණා ඔබට මතක ඇති. එහි කියැවුණේ නිශ්චිත නිල ඇඳුමක් රහිත රාජ්‍ය සේවකයන්ගේ පිරිමි පක්ෂය කලිසම්, කමිස හෝ ජාතික ඇඳුමෙනුත් කාන්තා පක්ෂය සාරිය හෝ ඔසරියෙනුත් සැරසිය යුතු බව. එහිදීත් දැකගන්න පුළුවන් වුණ කාරණාව තමයි ඇඳුම සැලකීමේදී සාධකය සැලකිල්ලට ගැනීමට වඩා, සංස්කෘතික රාමුවක් මුල් කරගැනීම. සාරිය, ඔසරිය හෝ ජාතික ඇඳුම ඇඳීමේ ගැටලුවක් නෑ. නමුත් ඒ සඳහා ඔබින, වඩා පහසු ඇඳුම් නැතිව නෙවෙයිනෙ. එහිදී සාරිය සහ ඔසරියේ නොතිබෙන අනික් ඇඳුම්වල තිබෙන ගැටලුව ගැන බොහෝ දෙනෙක් විමසුවා. ඒ විරෝධයත් එක්ක පසුකාලීනව නම් ඒ චක්‍රලේඛය සංශෝධනය කරල තිබුණා. 

ඇඳුම් ගැන රාජ්‍ය මට්ටමේ අදහස ඔහොම වෙද්දී, සමාජ  මතයන් ඊට අන්ත බව, අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. රියැලිටි ෂෝ එකක් එහෙම තිබුණොත්, එතැන ඉඳන් සතියක් යනකන් සමාජ මාධ්‍යයේ මුලසුන හොබවන්නේ කාගෙ හරි ඇඳුමක්. ඇඳුමක් ඇඳීම වගේ පොඩි දේකින් වුණත් ලංකාව ඇතුළෙ ලොකු ආන්දෝලනයක් ඇතිවෙන්න පුළුවන්. මෑත කාලීනම සිද්ධිය විදිහට යුරේනිගේ ඇඳුම් ගැන   එක පෙළට කතන්දර ලියවුණා – කියවුණා අපි දැක්කා. ඇඳුමක් මේ තරම් මැජික් එකක් වෙන්නෙ ඇයි කියන එක ගැටලුවක්. මෙතැනදී ගොඩක් අයගේ දිව අග නලියන උත්තර තමයි අපේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය කියන්නෙ. හැබැයි ඉතින් මීට අවුරුදු දෙතුන් සීයකට එහා ඉතිහාසය බැලුවොත් නම් ඔය කියන   ජාතියෙ සංස්කෘතියක් අපිට හම්බවෙන්නෙ නෑ. අපි කතාවටත් කියන්නෙ බ්ලවුස් එකක බුරිය පෙනුණොත් අවුල් වුණාට ළමා සාරියේ ඉඳන් බුරිය එළියේ තමයි කියලා. රොබට් නොක්ස්ලා ලංකාවට එන කාලෙ, ඒ කියන්නෙ  එක්දාස් හයසිය ගණන්වල හැට්ට ඇන්දෙ ඉහළ වංශවත් ගැහැනු විතරයි. ඒ කාලේ අඩු කුලවල කාන්තාවන් ඇඳුම් ඇන්දේ යටි කයට විතරයි. ඒ කියන්නෙ උඩුකය නිරුවත්. යටි කයට අඳින රෙදි කඩත් සීමා වුණේ දණහිස ළඟට. ඇතැම් වෙලාවට කර වටේ රෙදි කෑල්ලක් දාගෙන ඒ, රෙදි කෑල්ලෙ ‍ෙදාකොනින් යන්තම් පියයුරු වසා ගැනීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. එහෙම බැලුවම දැන් ඇඳුම් වාරණයට ගේන ප්‍රධානම හේතුව වෙන විළි වසා ගැනීම කියන මූලික ශික්ෂා පදේවත් ඔය කියන සංස්කෘතිය ඇතුළෙ සම්පූර්ණ වෙලා නෑ. අර මුලින් කිව්ව කුල භේදයත් ඉතාම දරුණු විදිහට මේ යුගයේ ඇඳුම හරහා එළියට ආවා. ඒ කාලේ අඩු කුලයේ කාන්තාවකට හෝ පිරිමියකුට රෙද්දක් පොරවගන්න පවා අවසරය හිමි වුණේ අධික සීතලයකට හෝ රෝගයකට පිළියමක් ලෙස විතරයි. ඒත් වංශවතෙක් ඉන්න තැනක එහෙම පොරවගෙන ඉන්නව නම් ඒවා අහක් කරන්න ඕනෙ කියලත් එදා  හෙළදිවේ නොක්ස් කියනවා. ඒ අනුව කුල භේද වගේ නොදියුණු සංකල්ප පැත්තකින් තිබ්බොත් ඒ කාලෙ නම් ලංකාවේ මිනිසුන්ගේ සහ ආගමික සංස්ථාවල සදාචාරය, ඉවසීමේ සීමාව අදට වඩා හුඟක් පුළුල් ඇති. ඇඳුමක් පොඩ්ඩක් එහෙ මෙහෙ වුණාම සතියක් ඒක අල්ලන් වැළලෙන්න තරම් පටු සදාචාර සීමාවක් නොවෙයි ඒ කාලෙ තිබිලා තියෙන්නේ. දැන් සමහර පන්සල්වල කලිසම් ඇඳගත්තු කාන්තාවන්ට ඇතුළු වීම තහනම් කියලා බෝඩ් එල්ලුවට මීට අවුරුදු දෙතුන් සීයකට උඩදි ඒ තත්ත්වය හුඟක් වෙනස්. 

එතකොට ඔය ඇඳුම් සම්බන්ධ සංස්කෘතික රාමු ටික “අපේ සංස්කෘතිය” කියන එක බවට පත් වුණේ වික්ටෝරියානු යුගයේ බලපෑමෙන්. වික්ටෝරියානු යුගයේ එංගලන්තයේ ඇඳුම් පැලඳුම් ඔබ දැකලා ඇති. Enola holmes, Titanic  වගේ ෆිල්ම්වල ඔය කියන සංස්කෘතිය දැකගන්න පුළුවන්. ඒ කාලේ කාන්තාව විළුඹ දක්වා දිගු ගවුම්වලින් සැරසිලයි හිටියේ. ඇතැම් විට ගවුම පිම්බිලා පේන්න ලී රාමු පවා ඇඟට තියලා බැඳගෙන ඉන්න ඔවුන්ට සිදුවුණා. ඒ ඇඟේ හැඩය පේන්න, හිරට නොඇඳිය යුතුයි කියලා ඔවුන් තුළ තිබුණ සම්මතය නිසා සමහර දැකල ඇති අත්දෙක පවා අත්වැසුම්වලින් ආවරණය කරගත්ත කාන්තාවන්ගේ බොහෝ වෙලාවට පේන්නෙ මුහුණ විතරයි. ලංකාවේ දැන් ඔය අපිට ඇහෙන අපේ සංස්කෘතිය කියන කතාවෙදි කියැවෙන සමහර කතා, ඔතැනින් ව්‍යුත්පන්න වෙලා ආවා කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන් සමාජ පන්තිය පිලිබිඹු කිරීම. වැදගත් බව වගේ දේවල් ඒ අය ඇඳුමෙන් බලාපොරොත්තු වුණා. කොටින්ම ඇඳුමෙන් මිනිස්සු මැනීම තමයි සිද්ධ වුණේ. 

මේ වෙද්දී ඇඳුමෙන් මිනිස්සු මනින්න උත්සාහ කරන එක එච්චර දියුණු වැඩක් නම් නෙවෙයි. ඇඳුම කියන්නේ අර මුලින් කිව්වා වගේ අතිශය පෞද්ගලික තෝරා ගැනීමක්. කාටවත් කරදරයක් නොවෙන සීමාවේ තමන්ගේ නිදහස භුක්ති විඳීමේ අයිතිය අපි හැමෝටම තිබිය යුතුයි වගේම පොඩි දේටත් සංස්කෘතියේ නාමයෙන් ට්රිගර් වෙන නොවෙන්න අපේ සදාචාර සීමාව පුළුල් කරගන්න උත්සාහ කරන එක වටිනවා. 

– ගගන ලක්සර Mawbima

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here