මාතර සිට කොළඹ පැමිණි ඩෙස්මන්ඩ් සිල්වා..

ඔහු ලොව නැළවූ සිංහලයෙකි. මා එසේ කියනුයේ ඔහුගේ ගීත ජාති, ආගම්, දේශසීමා භේදයකින් තොරව කවුරුත් රසවින්ද නිසාය. එහෙත් අද අපට ඒ මිහිරි රසයන්ගේ ආදරණීය මතක පමණක් ඉතිරිකර ඔහු යන්නට ගොස්ය. ඔහු අපේ රටේ ජනපි‍්‍රය වේග රිද්ම ගායකයකු වූ ඩෙස්මන්ඩ් ද සිල්වාය.

කාලයක් මුළුල්ලේ විදේශගතව සිටියත් අපේ රට ගැන වූ හැඟීම මෙන්ම ඔහුට ආදරය කරන්නා වූ මෙරට රසිකයන් පිළිබඳ හැමදාමත් ළබැඳි වූ ඔහු වසර කිහිපයකට වරක් හෝ මෙරටට පය තබන්නට තරම් කාරුණික වූයේය. ඒ එන්නේ ද නිකම්ම නිකං නොවේ. මෙරට දේශීය රසවතුන් නළවාලන්න අවැසි ඔහුටම ආවේණික වූ අඩුම කුඩුම ද රැගෙනය.

උණුසුම් හදවතක් හිමි මේ ආදරණීයයා පුරා දශක ගණනාවක් සිය ගායනයෙන් අනන්ත අප්‍රමාණ ලෝක වාසී රසික පිරිසකගේ හදවත් උණුසුම් කළේය. අපේ හදවත් උණුසුම් කරමින්ම මේ සීතල දුරුතු මහේ හී ගඩු පිපෙන සීතලට ඔහු ගේ උණුසුම් සුසුම් පොද මුසු කරලූ පුවත නම් මෙරට රසවතුන්ට පමණක් නොව ලෝ වාසී ඔහුගේ සියලු රසවතුන්ට දරාගත නොහැකි ශෝකයක් වනු ඇත.

ඩෙස්මන්ඩ් සිය ගායන විලාසයෙන් සේම, ජීවන විලාසයෙන් ද බටහිර සංස්කෘතියේ චින්තන නියෝජනයක් වුවද ඔහු උපදින්නේ මෙරට දකුණු ප්‍රදේශයේ මාතරට ආසන්න හද්දා පිටිසර ගමකය. ඔහුගේ පියා ගමේ ප්‍රකට නාඩගම් ගායකයෙකි. ඩෙස්මන් සිය ජීවන ගමන් මඟේ නොසිතු විරු සන්ධිස්ථානකට පැමිණි පසු වරක් පුවත්පතකට මෙසේ කියා තිබිණ.

‘මං අද ගායකයකුව සිටින්නේ පුංචි කාලේ තාත්තාගෙන් ලැබූ ආභාසය නිසා…’

ඩෙස්මන්ඩ් අධ්‍යාපනය ලබනුයේ මාතර විද්‍යාලයෙනි. ඒ කාලයේ සිටම ඔහු සිය පියා අනුගමනය කරමින් ගීත ගායනා කළේය. අධ්‍යාපනයෙන් එතරම් ඉහළට නොගිය ඔහු කොළඹට පැමිණෙන්නේ යුද්ධ හමුදාවට බැඳෙන්නටය. යුද හමුදා ජීවිතයේ දුෂ්කරත්වය ඩෙස්මන්ට විඳ දරා ගැනීමට අපහසු වූ බැවින්, ඔහුට සිත් වුයේ එතැනින් ඉවත්වන්නටය. දැඩි නීති රීතිවලින් බැඳුණු ඒ ජීවිතය ඩෙස්මන්ඩ් වැනි නිදහස්කාමී මිනිසෙකුට දරා ගැනීම අපහසු වීම අසන්නට දෙයක් නොවේ. ඒ නිසාම ඔහු යුද හමුදාවෙන් ඉවත් වී ගුවන් හමුදාවට බැදුණේය. එහෙත් එතැනදී ද ඩෙස්මන්ඩ්ට වැරදුණේය. එතැන ද ඩෙස්මන්ඩ්ට සුදුසු වාතාවරණය නොවීය. හමුදා ජීවිතයට සදාකාලිකවම ආයුබෝවන් කියූ ඩෙස්මන්ඩ් කුලීකරුවකු වූයේය.

අද ජීවිතය අවසන් කළ අපූරු මිනිසකුගේ අතීත ආරම්භය කෙතරම් කටුක වන්නට ඇත්ද? එය යළි යළිත් සිහිපත් කරනුයේ ඔහු වෙනුවෙන් වූ අප්‍රමාණ ගෞරවයකින් හා භක්තියකින් යුතුවය.

ඩෙස්මන්ඩ් හමුදාවෙන් ඉවත් වී බැංකුවක් ගොඩනඟන වැඩ බිමක පස් කපන කම්කරුවෙකු වූයේය. එවකට ඔහුගේ දිනක වැටුප වූයේ රුපියල් පහකි. යුද හමුදා, ගුවන් හමුදාවේ අණසක, නීති මැද ගෙවූ ජීවිතයට වඩා, දෑතේ කරගැට නැංවූ මේ ජීවිතය ඔහු පි‍්‍රය කළේය. නිදහස්කාමි සෞන්දර්යවාදියෙකුගේ හිත කෙතරම් මනරම් වූයේ දැයි ඉන් පැහැදිලි වන්නේය.

රුපියල් පහට පස් කපමින් සිටි ඩෙස්මන්ඩ් ගායකයකු වන්නේ මිත්‍රයෙකුගේ ආරාධනටය. ඒ 1963 දී සෆිට් ෆයර්ස් නම් සංගීත කණ්ඩායමේ ගායක ලෙසින් බැදෙමිනි. ඔහු ගායනා කරලූයේ ඉංගී‍්‍රසි ගීතය. ඩෙස්මන්ඩ්ගේ ඉංගී‍්‍රසි ගීත නැගලා ගියේය. ඉන්පසු සංගීත කණ්ඩායම් ගණනාවකි. ඔහුට ආරාධනා ගලා එන්නට විය.

ඩෙස්මන්ඩ් මීළඟ එවකට ජනපි‍්‍රයම සංගීත කණ්ඩායමක් වූ ‘ජෙට් ලයිනර්’ සංගීත කණ්ඩායමට බැඳුණේය. එවකට සංචාරක හෝටල් කර්මාන්තය තුළ අතිශයින් ජනපි‍්‍රය සංගීත කණ්ඩායමක් වූ ජෙට් ලයිනර් සමඟ සම්බන්ධ වීමෙන් පසු ඩෙස්මන්ඩ්ට සල්ලි ගලා එන්නට විය.

එකල රාත්‍රී සමාජ ශාලාවලට ඩෙස්මන්ඩ් නැතිවම බැරි ගායකුයෙකු බවට පත් විය. ඔහු තුළ දක්නට වූ සුවිශේෂී දක්ෂතාවය වූයේ ඕනෑම ගායකයකුගේ ඉංගී‍්‍රසි ගීතයක් ඔහුට ගායනය කළ හැකි වීමයි. දිනෙන් දින ඔහු වටා එක්රොක් වන ප්‍රේක්ෂක පිරිස ද වැඩිවන්නට විය. අත මිට මුදල් ද බර සාරෙට වූ බැවින් ඩෙස්මන්ඩ් ඔහුගේම සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. එය ‘ඩෙස්මන් ඇන්ඩ් ද ක්ලෑන් විය.

ඩෙස්මන්ඩ්ට දැන් දැන් විදෙස් සංචාර ද ලැබෙන්නට විය. ඔහුට 1971 දී ශ්‍රීසියේ ඇතැන්ස් නුවරට යෑමේ වාසනාව හිමි වූයේය. ඒ පස්වැනි ඔලිම්පික් ගීත තරගය සඳහාය. ඉන් රට රටවල ගායකයන් අතරින් හොඳම, ජනපි‍්‍රයම ගායකයා බවට පත්වූයේ ඩෙස්මන්ඩ්ය.

ඩෙස්මන්ඩ් ලංකාවේ පේ‍්‍රක්ෂකයන් සහ සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ ගායකයෙක් බවට පත්වන්නේ එක රැයකින්ය. ඒ,

‘චූඩා මාණිකේ බලාලා යනව මේ අපි

ලෝබ නැතුව පඬුරු දාලා එනව මේ අපි‘

මේ ඩෙස්මන්ඩ්ගේ මුල්ම ගීතයයි. මේ ගීතය කොහෙන් පැමිණියේ දැයි ඔහු නොදන්නා නමුත් ඉංගී‍්‍රසි වචන ටික නම් ලියා ඇත්තේ ඩෙස්මන්ඩ් විසින්මය. ඉන්පසු ඔහු ගායනා කළ ‘යමං බණ්ඩො වෙසක් බලන්න, පොල් කටු හැන්දේ මිට වගේ වැනි ගීත අතිශයින්ම ජනපි‍්‍රය විය.

‘යන්න රට වටේ

එන්න මා පි‍්‍රයේ

ලස්සන ශ්‍රී ලංකාවේ

සීගිරියේ කැටපත් පවුරේ….

තුන් සිංහලේ…

ඩෙස්මන්ඩ් ගේ මේ ගීතය අදටත් අපට නිතර ඇහෙන්නේය. එය රචනා කර ඇත්තේ හඩ්සන සමරසිංහ විසිනි. ඩෙස්මන්ඩ් සිංහල ගීත පි‍්‍රය කරන ශ්‍රාවකයන් අතර ද අතිශයින් ජනපි‍්‍රය වූයේ ඉහත කී ගීත නිසාය. ඔහු චිත්‍රපට පසුබිම් ගීත ගායකයෙකු ද වූයේය. ‘සීතා දේවි’ චිත්‍රපටයේ තේමා ගීතය මෙන්ම ‘සමන්මලී’, ‘මගේ අම්මා’ වැනි චිත්‍රපටවල බයිලා ගීත ද ඔහු ගැයුවේය.

ඩෙස්මන්ඩ් බයිලා ගීත ගායනයට යොමු වනුයේ වොලී බැස්ටියන් නිසාය. වොලී ගේ රසිකයෙකු බවට පත් වී සිටි ඩෙස්මන් දිනක් ඔහුට සිය නිවෙසට ආරාධනා කරන්නේය. එදින ඔහුගේ ගීත කීපයක් ගිටාරය වයමින් ගායනා කරමින් ඔහුගේ නිවෙසේ වූ රෙකෝඩරයෙන් රෙකෝඩ් කළේය. එදා වොලී ඩෙස්මන්ට කියුවේ ‘පුතා මගේ ගීත ගායනා කරන්න’ යනුුවෙනි. ඩෙස්මන්ඩ් ඉංගී‍්‍රසි ගීත, බයිලා ගීත වගේම පැරැණි නාඩගම් හා තැටි ගීත ද ගැයුවේය. ඒ අතර ‘රාජ සඟබෝ හිස දී දුගියාට, මුනි නන්දන සිරිපාද, පනාමුරේ ඇත් රාජා, අඹ දඹ නාරං, බුදුබව පතනා වෙසතුරු නිරිඳා, වැනි ගීත එකල ජනපි‍්‍රය විය.

වසර 1986 දී ඩෙස්මන්ඩ් එංගලන්තයේ පදිංචියට ගියේය. එහෙත් එදා සිට මිය යන මොහොත දක්වාම ඔහුට නිර්මාණකරණයෙන් මිදෙන්නට නම් නොහැකි විය. ඔහු පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියගේ දයාබර පියෙකි. උත්පත්තියෙන් උරුම කරගෙන ආ දක්ෂතා රැසකින් යුත් පුද්ගලයකු වූ ඩෙස්මන්ඩ්ට සිය ජන්මයෙන් ලද හඬ පෞරුෂය සේම ඊට ගැලපෙන කඩවසම් රූප කායක් ද තිබිණ. මේ ද්විත්වය එක්කාසු වීමෙන් මැවුණු ඩෙස්මන්ඩ් පෞරුෂය මෙරට තරුණ තරුණියන්ගේ හදවත් මුසපත් කළ අයුරු අප කවුරුත් දන්නා කරුණකි.

වරක් සරසවිය සම්මාන උලෙළකට අමරදේවයන් නිම්හිම් සෙව්වා මා සසරේ ගීතය සිංහලෙන් ගයද්දී එහි ඉංගී‍්‍රසි ගීතය ඩෙස්මන්ඩ් ද සිල්වා ගායනා කළේ උත්සව සභාව මන මෝහනයට පත් කරමිනි.

පසුගිය මාසය ඇතුළත දී ඔහු වසර ගණනාවකට පසු අලුත් සිංහල ගීතයක් ගැයුවේය. කොවිඩ් වසංගතය නිසා එය දින දිනම කල් ගියේය. එහෙත් පසුගිය දෙසැම්බර් 11 දා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Studio Agra හිදී ඩෙස්මන්ඩ් අලුත් සින්දුවට හඬ මුසු කළේය. මේ ගීතයේ ඉතිරි කටයුතු සිදු වූයේ ලංකාවේ ඉචඨඥ ස්ටුඩියෝවේ සඳරු ගමගේ අතිනි. ගීතය සංගීතවත් කරලූයේ වර්තමානයේ මෙරට ජනපි‍්‍රයම සංගීත අධ්‍යක්ෂවරයකු වන දර්ශන වික්‍රමතුංග විසිනි. ගීතය රචනා කරන ලද්දේ ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින ජනපි‍්‍රය ගී පද රචකයකු වන තරින්ද ගුණවර්ධන විසිනි. මේ ඩෙස්මන්ඩ් ගැයූ නවතම සහ අවසන් ගීතයයි.

කොම්පඤ්ඤ වීදියේ අපෙ

පරංගි වාඩියේ

ආබෘ අල්මේදා

ඩිමෙල් රුබේරූ

පෙරේරා යන්න එපා

අද කන්තෝරු

වැලන්තිනා –

සිඤ්ඤොීරිනා – ඒ

ජේත්තුකාරී

මන් කසාද බඳිනවා ඒ

මෝස්තරකාරී

රතිඤ්ඤා ගහල සාජ්ජ දාලා

බීර වයින් කල්දේරම්

හිස් කරපල්ලා

එයු ෂේ ඇමෝ කැතරිනා

එයු ෂේ ඇමෝ ග්‍රැන්සිනා

එයු ෂේ ඇමෝ ජොසපිනා

මට ආදරෙයි

මගේ සිඤ්ඤොරීනා

මඟ දිග පාර තොටේ

යන විට හැටට හැටේ

හදවත ගැහෙනවා නෝනා

සිතුවිලි සතුට දිගේ

පිපියන් කුසුම මගේ

මට ආදරෙයි මගේ

සිඤ්ඤොරිනා …//

සිඤ්ඤොරිනාට ආදරෙයි කියූ ඩෙස්මන්, අපි හැමෝගේම ආදරේ තුරුලු කරන් සීතල උඳුවප් මහේ යන්නම යන්න ගොස්ය. බයිලා රජුනි ඔබට සුබ ගමන් !

– හේමාලි විජේරත්න

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..