ගිරිරාජ් කෞෂල්‍ය අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. එ මතුද නොව ඔහු චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම තිරකතා පිටපත් රචකයෙකු ලෙසද නමක් දිනා ගත් අයෙකි. වේදිකාව පුංචි තිරය රිදී තිරය එකලෙස ජයගත් කිහිප දෙනා අතරින් ඉදිරියෙන් සිටින කෙනෙක් තමයි ගිරිරාජ් කෞෂල්‍ය.

හිත හොඳ මිනිසකු ලෙස කා අතරත් ජනප‍්‍රිය හෙතෙම පසුගිය දවස්වල පසු වූයේ රෝගාතුරවය. දැන් එම රෝගී තත්ත්වයෙන් සුවය ලබමින් සිටින ඔහු යළිත් අපගේ සිත් සතන් තුළට සතුට විනෝදය ගෙන දීමට රංග කාර්යයෙන් දායක වීමට සූදානම්ව සිටිනවා. ඔහුගේ කනිටු දියණිය වන අමන්ද්‍යා උත්පලීද මේ දිනවල ස්වර්ණවාහිණි නාලිකාව ඔස්සේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය ඔස්සේ අපගේ ආලින්දයට ගොඩවෙනවා.

එ තොරතුරු කතා කරන්නට පහුගියදා අප ගිරිරාජ් කෞශල්‍යගේ ආලින්දයට ගොඩ වුණා.

කොහොමද අලූත් තොරතුරු…
අලූත් තොරතුරු කියන්නේ දැන් මම සුවය ලබමින් සිටිනවා. සමාජාලා මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිරි ගියා.

ඇත්තටම එහෙම ලොකු අසනීපයක් මට දැන ගන්නට තිබුණෙ නෑ. බෙල්ලේ තද වේදනාවක් නැති කුඩා ගැටිති දෙකක් ඇති වුණා. එය පෙන්වා ප‍්‍රතිකාර ගන්නට තමයි ගියේ. එහිදී කරපු වෛද්‍ය පර්යේෂණ මත තමයි මට වෙනත් රෝගී තත්ත්වයක් ඇති බවට කරුණු තහවුරු වුණේ. ඇත්තටම මගේ රෝගී තත්ත්වය හඳුනා ගත්තෙ අපේ පවුලේ වෛද්‍යවරයා වූ වාසුදේව මහතා, අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය දේවා නන්ද ජයතිලක, වෛද්‍ය සනත්, අපේක්ෂා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටත්, හෙද හෙදියන්ට, අනිකුත් මහත්ම මහත්මීන්ට මම ස්තුතිවන්ත වෙනවා මාව මේලෙස සුවපත් කිරීම ගැන.

ඔබ සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් හරි සෑහැල්ලූවට ගන්න කෙනෙක්… රෝගී තත්ත්වය දැන ගත්තාම මොනවද හිතුණේ…
සැහැල්ලූවෙන් ඉන්න මම හුඟක් උත්සාහ කරන කෙනෙක්. තවත් කෙනෙකුගෙ මුහුණෙ සිනාවක් දකින්න මම හරි කැමතියි…නමුත් වෛද්‍ය පර්යේෂණ අනුව මගේ රෝගී තත්ත්වය තහවුරු වුණාම යම්කිසි සසල වීමක් ඇති නොවුණා නම් නොවෙයි. ඒත් ගෙදර කණ්ඩායමට මම බය නැති බව පෙන්නුවා. ගෙදර කණ්ඩායම මට බය නොදැනෙන ලෙස ඉන්න උත්සාහ කළා. අපේ පවුලේ බැඳීම එයට ලොකු සවියක් වුණා. විශේෂයෙන් මගේ බෑනාවරු දෙන්නා හැම වෙලාවෙම මගේ ළගින් හිටියා. ඔවුන් මාව අත් හැරියේ නෑ.

ඔබට සිහිනයක් තිබුණා වයස අවුරුදු පණහ වෙද්දි සීයා කෙනෙක් වෙන්න…

ඔව් ඔව්…එ සිහිනය සොබෑ වුණා… මේ වෙලාවේ නම් මුණුපුරාල ගෙදර නෑ. ජීවත් වෙන්න බලාපොරොත්තු ඕනෑ…එ බලාපොරොත්තු තමයි ජීවිතයට සවියක්, ශක්තිය ක් සතුටක් අරගෙන එන්නෙ. කලාකාරයකුගෙ බලාපොරොත්තු හරි සරලයි…සුන්දරයි කියල තමයි මට හිතෙන්නෙ.

අසනීප වෙන්න කලින් රඟපෑ ටෙලිනාට්‍ය හරි ජනප‍්‍රියයි නේද?
ඇත්තටම ඒක ගැන හරි සතුටුයි. එහි හැම චරිතයක්ම ප්‍රෙක්ෂකයන්ට සමීපයි.

කුකුළා මුදලාලි වඩාත් සමීපයි.
ඔව්… ඔව්…

ගැහැනු ළමුන්ගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබුණා කියලත් ආරංචියි…
එයට උත්තරයක් දුන්නෙ ගිරාගෙ පොඩි දුව අමන්ද්‍යා උත්පලී.

අපොයි ඔව්… පාරෙ යනකොට ගැහැනු ළමයි විතරක් නොවෙයි වැඩිහිටි කාන්තාවොත් කුකුලා කියලා කියනවා… හැබැයි තාත්තා රඟපෑ එ් චරිතයේ හරි වෙනස් අර්ථයක් තියෙන්නේ…කුකුළා කිව්වම සාමාන්‍ය තේරුම මනමාලයා කියන එකනෙ ඒත්… එ චරිතය එහෙම නෑ…

කල්පනාගෙ චරිතය රඟපාන්නෙ අමන්ද්‍යා. එ අවස්ථාව ලැබුණෙ කොහොමද?
ඇත්තටම අපේ දුවලා දෙන්නම රඟපාන්න දක්ෂයි. සමස්ත ලංකා මට්ටමෙන් විවිධ අවස්ථාවල හොඳම නළුවා හොඳම නිළිය යන අංශ දෙකෙන්ම රංගනයට සම්මාන සහතික දිනාගෙන තියෙනවා. නමුත් අපේ ලොකු දුව උසස් අධ්‍යාපන කටයුතු කළේ වෙනත් අංශයකින්…මට ඕනෑ වුණා පොඩි දුව ගායිකාවක් ලෙසින් ඉදිරියට එනවා දකින්න. එහෙම කියලා අපේ බලකිරීමක් තිබුණේ නෑ කිසිම දෙයකට. එයාලට ඕන විෂය නිර්දේශයන් ඔස්සේ අධ්‍යාපනය ලබන්නට අවශ්‍ය ඉඩකඩ ලබා දුන්නා. පොඩි දුව රංවල බළකායට එකතුවෙලා සංගීතයෙන් ඉදිරියට එනවා. උසස් අධ්‍යාපන කටයුතු කරලා පෞද්ගලික ආයතනයක විශේෂ රැුකියාවක නිරත වෙලා හිටියා. පහු කාලෙක එවැනි රැුකියාවක ඇති පීඩනකාරී තත්ත්වය නිසා ඇය එයින් ඉවත් වුණා. දුවට රංගන හැකියාව තියෙන විත්තිය මම දන්නව. එයා මගේ තුන්වැනි චිත‍්‍රපටයෙත් කුඩා චරිතයක් කළා. ගිරිරාජ් කිව්ව. ඉතිරි කතාව සම්පූර්ණ කළේ අමන්ද්‍යා.

ඔව් මං දන්නවා තාත්තාගෙ හිතේ ලොකු ආසාවක් තිබුණ. මම ගායිකාවක් වෙනවා දකින්න… හැබයි තාත්තාගෙ ආසාවට පයින් ගහලා මම නිළියෙක් වෙන්න උත්සාහ කළා නොවෙයි. මං රංවල බලකයෙ ගායිකාවක් විදිහට වැඩ කරන අතර තුර රූපවාහිනී නාලිකාවල වැඩ සටහන් ඔස්සේ ගීත ගායනා කරනවා. මම ගීත කිහිපයක් චිත‍්‍රපටවලට ගායනා කරලා තියෙනවා. විශේෂයෙන් තාත්තා අධ්‍යක්ෂණය කළ. කතුරු මිතුරු චිත‍්‍රපටයේ ගීත දෙකක් තියෙනව. එය රසිකයන් වින්දනය කරන ආකාරය දකින්නට ආසාවෙන් ඉන්නේ. තවත් ගීත කිහිපයක් කරන්න සූදානමින් ඉන්නවා.

තාත්තගෙ ආසාව බලාපොරොත්තුව මම ඉටුකරමින් සිටින්නේ. එ අතර තමයි රඟපාන්න එකතු වුණේ.

ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් තමයි නාඩගම්කාරයෝ ටෙලියෙ අධ්‍යක්ෂකවරයා…ඔහු තමයි අමන්ද්‍යා උත්පලීට රංගනයට අවස්ථාව දෙන්නෙ. මේක යාළුකමට සිදුවුණු දෙයක් ද? ජයප‍්‍රකාශ් කියලා තිබුණා ඔහුගේ පුතා රංගනයට කැඳවන්නෙ ඔබයි කියල.
මෙහෙමයි… අපේ තාත්තා කවුද කියලා කවුරුත් දන්නෙ නෑනෙ…හැබයි මම කලාව තුළ යමක් කළා කියලා මම හිතනවා. දැන් බලන්න තාත්තලා අම්මලා රඟපාන නිසාම රංගනයට ආපු දුදරුවන් ගැන ගාමිණි ෆොන්සේකගේ පුත් දමිත් ෆොන්සේකාගේ ඉඳලා කීදෙනෙක් ආවද… එයින් කීදෙනෙක් මේ ක්ෂෙත‍්‍රයේ යමක් කළාද… සාරධා එක්ක මම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රඟපානවා… අපි රිහසල් කරලා සුදුසු වෙලාවෙදි රූපගත කරනවා. ඔබ හරි… සිවා දන්නවා හාස්‍ය උපදවන්න මගේ තියෙන හැකියාව.

මුල ඉඳලාම දුවට රඟපාන්න ආරාධනා ලැබුණා. ඇත්තටම මගෙ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. ඉතිං සිවගුරුනාදන් මිත‍්‍රයට ඕන වුණා නිළියෙක් කරන්න දුවව. මේක යාළුකමට වුණා කියමුකො… යාළුවො වුණාම එහෙම දේවල් වෙනවා තමයි ඉතිං…ඒත් දක්ෂතා නැතිනම් ක්ෂේත‍්‍රයේ රැඳී ඉන්න බෑ. අපි බලමු අනාගතයේ මේ අයගෙ දක්ෂතා කොහොමද කියලා නේද?

ගිරිරාජ් කිව්වෙ සුපුරුදු සිනාව මුවට නංවාගෙන. ගිරිරාජ් එහෙම කියද්දි අමන්ද්‍යා උත්පලී මෙහෙම කිව්වා. ඔව් සිවා අංකල්ට කියල තිබ්බ අවස්ථාවක් තිබ්බොත් කියන්න කියලා. එහෙම තමයි ආරාධනා ව ලැබුණෙ… මමයි තාත්තයි අයිටීඑන් නාලිකාවෙ එ්කාංගික ටෙලි නාට්‍යයක රඟපෑව. තාත්ත අධ්‍යක්ෂණය කළ කතුරුමිතුරු චිත‍්‍රපටයෙත් රඟපෑවා… කැමරාව ඉදිරියේ රඟපාන එක විශේෂ අමුත්තක් වුණේ නෑ මට.

නාඩගම්කාරයෝහි කුකුළා මුදලාලිගෙ අඩුව පිරිමහන්න ඔබට පුළුවන් ද?
තාත්තා රඟපෑ චරිතයේ අඩුව පුරවන්න මාව ගත්තා නෙමෙයි. එවැනි ජනප‍්‍රිය ටෙලිනාට්‍යයකින් පේ‍්‍රක්ෂකයන් වෙත එන්නට ලැබීම සතුටක්. තාත්තාගෙ අඩුව තාත්තාටම හැර වෙන කාටවත් පුරවන්න බෑ… ඔහු එ් චරිතය විශිෂ්ට ලෙස රඟපෑව… අංක එකට තාත්තගෙ රංඟන දිවියෙ මං දකින්නේ ඉසුරු භවන ටෙලිනාට්‍යයේ කුරුනේරුගේ චරිතයයි.

තාත්තගෙන් ඔබලාගේ ජීවිතයට ලැබෙන උපදෙස් මොනවද?
ඇත්තටම අපේ තාත්තා කිසිම වෙලාවක අපිට කිසිම දෙයකට තහංචි පනවා නෑ. අධ්‍යාපනය ලබන කාලෙ එ සඳහා පූර්ණ නිදහස දුන්න. හැබැයි එයා ගෙදර දී කතාබහ කරන විදිහෙන් හැසිරෙන ආකාරයෙන් අක්කයි මායි අවබෝධ කරගෙන හිටිය තාත්ත කැමති මොනවද අකමැති මොනවද කියලා. තාත්ත නිතරම ආදර්ශයෙන් අපිට ජීවිතය කියා දුන්න කියල අපි විශ්වාස කරනවා… කොටින්ම අක්කයි මමයි විවාහ වුණේ ආදරය කරලා.. එහිදීත් ඔහු අපට තහංචි දැම්මෙ නෑ…එ සඳහාත් නිදහස දුන්නා… හැබයි අපි ගත් තීරණයන් වැරදුනෙත් නෑ…අමන්ද්‍යා උත්පලී කිව්ව.

අපිට තාත්තායි දුවයි එකට රඟපානවා දකින්න ලැබෙයිද?
ඇත්තටම තාත්තා සුව කර ගැනීමට අපි ලොකු වෙහෙසක් ගත්තා. දැන් සුවය ලබමින් සිටිනව. පේ‍්‍රක්ෂකයන් තාත්තාව දැක්ක විදිහක් තියෙනව. එ අයුරින් තාත්ත ඉදිරියට ගෙනා යුතුයි…

නාඩගම්කාරයෝ එක්ක එක්වෙන්න හැකිවෙයි කියල මම විශ්වාස කරනව. මම දැන් බොහෝ දුරට සුවය ලබමින් සිටිනව. ඉදිරියේ ලැබෙන වෛද්‍ය උපදෙස් හා නිර්දේශ අනුව රඟපෑමට සම්බන්ධ වෙන්න ඉඩකඩ තිබෙනව. එ කොහොම වුණත් තව කාලයකට අලූත් නිර්මාණ නම් බාරගන්නෙ නෑ. නාඩගම්කාරයෝ අවසන් වෙන්න දවසකට දෙකකට හෝ කලින් එහි රඟපාන්න ලොකු ආසාවක් තියෙනව.

ඔබට පේ‍්‍රක්ෂක ආදරය වැඩියෙන් ලැබුණ කාලයක් මේ…
ඒක නං කියලා වැඩක් නෑ. අපේ ගෙදර අයත් කියන්නෙ පේ‍්‍රක්ෂකයො මේ තරම් ආදරෙයි කියල හිතුවෙ නෑ කියලයි. කවුරු හරි පෝස්ට් එකක් සමාජ ජාලාවලට මුදාහැරල තිබුණා. මම අසනීපෙන් කියල. එ නිසා විශාල පිරිසක් මට ආශිර්වාද කරන්න එකතු වුණා. ඇත්තටම එහෙම දේවල් කරපු අය පුද්ගලිකව මම හඳුනන්නෙ නැති වුණත් එ අය එහෙම කළේ කිසිම ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් නොවෙයි. මේ තුළ තියෙන ආදරේ එදා මම වේදිකාවෙන් පටන් අරගෙන මේ කලා ගමනේ දිනාගත්ත දේ තමයි එ. මම හැමදාමත් මට පුළුවන් විදියට කාට කාටත් උදව් කරල තියනව. ගිරාඳුරුකෝට්ටේ තමයි මම මුල් කාලෙ රැකියාව කළේ. එහෙ මිනිස්සු අසනීප වුණාම මම කොළඹට ගෙනැල්ල සුව කරල ආපහු යවලා තියෙනව. මම අසනීප වුණාම එ ආශීර්වාදය මට ලැබුණ කියල මම විශ්වාස කරනව.

සමහරු පෝස්ට් දාල තිබුණ මම රංගනයෙන් ඉවත් වුණා කියල. එහෙම පටු අරමුණු තිබුණු අයත් හිටිය. එ ගැන මම කණගාටු වෙන්නෙ නෑ. මම අසනීප වුණ වෙලාවෙ ඉඳල මට විවිධ අයුරින් උදව් කළ දෙස් විදෙස් පේ‍්‍රක්ෂකයන්ට, මගේ සමීප යහළු යෙහළියන්ට විශේෂයෙන් මාව අත්නොහැර මගේ ළඟින් හිටිය මගේ බෑනාවරුන් දෙන්නටත් මම මේ වෙලාවෙ ස්තුති කරනවා.

– සුගත් ශාන්ත මොරගහකුඹුර

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here