කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේ බැහැ දැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් තීරණය කර තිබේ.

ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වාපක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු ත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහ නා හිමියන් මෙම තීරණයට එළඹ ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ලියැවිල්ල මහ නා හිමිවරුන්ට පිළිගැන්වීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා මහනුවරට පැමිණි අවස්ථාවේ ඒ මහතාට මල්වතු මහනාමිහියන් බැහැ දැකීම සඳහා අවසර නොලැබිණි.

ඒ හේතුවෙන්, අස්ගිරි මහ නා හිමියන් පමණක් බැහැ දැක අදාළ ලියැවිල්ල පිළිගැන්වීමට ඒ මහතාට සිදුවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ද පසුගිය 29 දින මල්වතු මහ නා හිමියන් බැහැ දැක පවතින අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඇතුළත් ලියැවිල්ලක් පිළිගැන්වීමට අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ට ද මහ නා හිමියන් වේලාවක් ලබා දී නොමැත.

මේ අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් කැඳවා පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහනායක හිමිවරු තීරණය කර තිබේ.

– Mawbima

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here