“එදා උදේ පාන්දර පුතා නැඟිටලා තාත්තේ තාත්තේ ෆිනෑන්ස් එකෙන් වාහනේ අරගෙන යන්න හදනවා කිව්වා. මම දුවගෙන මිදුලට ඇවිත් බලද්දී වාහනයයි පුතායි පේන්න හිටියේ නැහැ. පස්සේ මං පාරදිගේ දුවගෙන ගිහින් බලද්දී පුතා මඟ දාලා ගිහින් තිබුණා. ඒ වෙලාවේ පුතා සිහිය නෑ වගේ හිටිය නිසා ඉස්පිරිතාලේට අරන් ගියා” යැයි දැඩි ශෝකයෙන් පැවැසුවේ ජාලිය කුමාර නමැනි තරුණයාගේ පියාය. මේ සිද්ධියෙන් අපට අපේ දරුවා නැතිවුණා.

ජාලිය කුමාර වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් මීගම්මනවත්ත ගම්මානයේ ජීවත් වූ වයස අවුරුදු 35ක තරුණයෙකි. කල්බදු ක්‍රමයට ලොරි රථයක් මිලදීගෙන සිටි ජාලියට හිටි හැටියේ මෙවැනි ඉරණමක් අත්වේයැයි කිසිවකු විශ්වාස කළේ නැත.

කල්බදු සමාගමක කිහිපදෙනකුට මිනිස් ජීවිතයකට වඩා ලොරි රථයක් වටිනා නිසා ජාලියට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

සිය පුතුගේ වියෝව දරාගත නොහැකිව ජාලියගේ මවත් පියාත් අද හඬා වැටෙමින් සිටිති.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ගේ දරුවාට කළ මේ අපරාධයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි.

එම තරුණයාගේ ඥාතීන්ට අමතරව හිතමිතුරන් හා ප්‍රදේශවාසීන් කියා සිටියේ පොලිසිය ඇතුළු වගකිවයුතු අංශවල අවධානය මේ සම්බන්ධයෙන් යොමුවිය යුතු බවත්, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදිය යුතු බවත්ය.

වාහනයට යටකර හෝ එය ලබාගන්නා බව කියමින් අදාළ කල්බදු සමාගමේ කළමනාකාරවරයා මීට පෙර ජාලියට තර්ජනය කර තිබූ බව ඔහුගේ පියා පවසයි.

කල්බදු සමාගමේ පිරිස ලොරි රථය රැගෙන යන අවස්ථාවේදී එය වැළැක්වීමට ජාලිය කුමාර උත්සාහ කර තිබෙන බවත්, ලොරි රථය පසුපස ඔහු දිවයන අතරතුරදී අනතුර සිදුවන්නට ඇතැයි සැක කරන බවත් පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ජාලිය කුමාරගේ පියා මෙසේද කීය.

මේ සිද්ධිය වෙන්න කලියෙන් 09 වැනිදා අපි ගිහින් කතා කළා ෆිනෑන්ස් එක ක්ලියර් කරන්න කියලා. ඊට පස්සේ ෆිනෑන්ස් එකේ අය ලොකු ගාණක් ඉල්ලලා තිබුණා. අපේ පුතා ඊට අඩු ගාණක් දෙන්නම් කියා කීවා. ඒකට ෆිනෑන්ස් එකේ අය කැමැති වෙලා නැහැ. ඒ අය කියලා තිබුණා අනිවාර්යයෙන් වාහනය ගන්නවා කියලා. ඒ වෙලාවේ පුතා කියලා තියෙනවා පුළුවන්නම් ගන්න කියලා. ඊට පස්සේ ඒ අය කියලා තිබුණා ගිය සැරේ වගේ නෙමෙයි මේ සැරේ ගන්නේ කියලා. ගිය සැරේ නම් ගහලා ගත්තේ, මේ සැරේ එක්කෙනෙක් යට කරලා හරි වාහනේ ගන්නවා කියලා ෆිනෑන්ස් එකේ ලොක්කෙක් කියලා තිබුණා”.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ජාලිය කුමාරගේ මිතුරෙක් මෙසේ කීය.

“ෆිනෑන්ස් එකේ අය ජාලියගේ වාහනේ ගෙන යෑමට සීසර්ලා එවලා තියෙනවා. රෑ මගෙ යාළුවා යටකරලා මරලා වාහනේ අරන් ගිහින් කියලා අපි දැක්කේ පසුවයි. අනිවාර්යයෙන් මේකට පරීක්‍ෂණයක් කළ යුතුයි. සාධාරණයක් වෙන්න ඕන. අද අපිට වුණු මේ දෙය හෙට තව කාට හරි වෙන්න පුළුවන්” යනුවෙන්

කීවේය‍.

අමිත් මධුරංග ගමගේ, තෙල්දෙණිය – කේ. නිශ්ශංක

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here