ඡන්ද නැතත් ආණ්ඩු පෙරළන්න පුළුවන්

මැතිවරණ නැතත් ජන බලයෙන් ආණ්ඩු දණගස්වන්න පුළුවන් බව ඔප්පු කර හමාරයැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි. ගෝඨා – රනිල් පාලනය පලවා හරින්න බැහැ කියා කවුරු හෝ හිතනවා නම්, ඒක එහෙම නොවන බව පාලකයන් අවබෝධ කරගත යුතු යැයි ඔහු අවධාරණය කළේය.

එදා පොහොර හොණ්ඩරයක් ගත්ත මිලට අද පොහොර කිලෝ එකක්වත් ගන්න බැහැ. දරුවන්ගේ අධ්‍යාපනයට පොඩි පොතක් ගන්න බැරි තත්ත්වයට පත්කර ඇතැයිද තෙහෙම කියා සිටියේය.

කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ. මුළුමහත් සමාජයක්ම මහපාරට දැම්ම ආණ්ඩුවක් මේ. මේ පාලනය අවසන් කරන්න කාලය ඇවිත්. ගෝඨා – රනිල් පාලනය පලවා හරින්න බැහැ කියලා කවුරු හරි හිතනවා නම්, ඒක එහෙම නොවෙයි කියලා පාරට බැහැලා ඉන්න මේ ජන බලයෙන් ඔප්පු කරලා තිබෙනවා.

මාර්තු 18 වැනිදා සමාජවාදී තරුණ සංගමයේ නායකත්වයෙන් මේ රටේ තරුණයන්ගේ නැඟීමකට මුලපිරුවා. ජනාධිපති ලේකම් කාර්යාලය වටකරලා තරුණ බලය පෙන්නුවා. ඊට පස්සේ මාර්තු 23 වැනිදා නුගේගොඩ ජන ගඟක් එකතු වෙලා ජාතික ජන බලවේගයේ අති සාර්ථක විරෝධතා රැලියක් පැවැත්වූවා. අප්‍රේල් 03 වැනිදා සමාජ මාධ්‍ය තහනම් කර, ඇඳිරි නීතිය දාලා නීතියෙන් බලපෑම් කළ වෙලාවේ ගෝඨාභයගේ ඇඳිරි නීතිය කඩලා පාරට ආව ජනතාව තමන්ගේ බලය මොකක්ද කියලා ඔප්පු කළා.

අප්‍රේල් 17, 18, 19 බේරුවල ඉඳලා දැවැන්ත ජන ගංගාවක් විරෝධතා පාගමනින් කොළඹට ආවා. මැයි 01 වැනිදා මේ රටේ පළමුවැනි වතාවට යාපනය, අනුරාධපුරය, කොළඹ, මාතර දැවැන්ත මැයි දින පෙළපාලි පවත්වලා වැඩකරන ජනතාවගේ බලය පෙන්නුවා. 1953 හර්තාලයෙන් පස්සේ මුළු රටේම ජනතාව මැයි 06 වැනිදා මහ පාරට බැහැලා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වූවා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න තීරණය කළේ එදා.

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..