උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළයාමේ ප්‍රතිවිපාක ලෙස ඉදිරි කාලයේ මෙරට ක්ෂේත්‍ර රැසක රැකියා අහිමිවීමේ අවදානමක් මේ වන විට මතුව පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවයි.

මෙම තත්ත්වය උද්ගත විය හැකි වන්නේ ව්‍යාපාර ආයතනවලට සිය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙනි. 

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය පසුගිය මැයි මාසයේදී 39.1% දක්වා ඉහළ ගිය අතර ආහාර උද්ධමනය 57.4 % දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.

මෙලෙස ජීවන වියදම ඉහළ යාම මෙන්ම අපනයන හා ආනයන සීමාවීම නිසා මෙරට ක්ෂේත්‍ර රැසක රැකියාවලට මේ වන විට බරපතළ ලෙස අහිතකර බලපෑම් එල්ල වී තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා

“සමහර ව්‍යාපාර තවදුරටත් කරගෙන යන්න බැරි වෙනවා. එතකොට ව්‍යාපාර එක්කෝ හකුලන්න සිද්ධ වෙනවා. තියෙන රැකියා ප්‍රමාණය අඩු වෙනවා. විශේෂයෙන්ම ඉන්ෆෝමල් සෙක්ටර් එකට බලපාන්න තියෙන අවස්ථාව ඉතාමත්ම වැඩියි. මොකද ඔවුන් ඇවිල්ලා අපි කියන සමාන්‍ය ETF EPF කැපෙන එහෙම දේවල් නෑ. සමහර වෙලාවට කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර තමයි ඔවුන් කරන්නේ. භාණ්ඩවල හිඟතාවයන් කියලා කියන්නේ උද්ධමනයේම එක්තරා කොටසක්. ඒ වගේම විධිමත් අංශයේ ෆෝමල් සෙක්ටර් එක ගත්තොත් පුහුණුව අඩු නම් ඔවුන්ට ඒක බලපානවා. ඒ වගේම පුහුණුව වැඩි අයටත් මේක බලපානවා. මොකද බොහෝ වෙලාවට විශේෂයෙන්ම රට හැර දා යන්න උත්සාහ කරනවා. 2022 මාර්තු මාසෙට විතරක් විදේශ ගමන් බලපත්‍ර 74,000ක් පමණ නිකුත් කරලා තියෙනවා.”

“සමහර වෙලාවට සමාජයේ නොසන්සුන්තාවයක් ඇතිවෙන්න පුලුවන්. තරමක් ප්‍රචන්ඩකාරී ස්වභාවක් ගන්න පුලුවන්. එකපැත්තකින් සොරකම් වැනි සමාජ අර්බුද එන්න පුලුවන්. මෙතනදී අපි කරන්න තියෙන ප්‍රධානතම කාරණය තමයි ණය ප්‍රතිව්‍යූහගත කිරීම්. දැන් ඒක පවරලා තියෙන්නේ. ඉක්මනට ඒක ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඒ වගේම අපිට ජාත්‍යන්තර සම්බන්ධතා මත යම්කිසි සහයෝගයක් අනිත් පැත්තෙන් අවශ්‍යයි. ඒ වගේම අපිට ඉක්මනටම මුදල් උපයන්න ක්‍රම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. වි‍ශේෂයෙන්ම විදේශ ප්‍රේෂණ. තීරණ ගැනීමේදී ඉක්මනට තීරණ ගැනීම. ඉතා වැදගත් මොකද මේක පහුකරන්න, පහුකරන්න හැම දවසකදීම ඒ පීඩනය ජනතාවට එල්ල වීම නිසා මේක අපි නොහිතන පැත්තකට යන්න පුලුවන්.”

– adaderana

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here