මේ සමාජයට මාව අයිඩින්ටිෆයි වෙන්නෙ සමරිසි පුද්ගලයෙක් හැටියට.. – කොරින්ගේ පුතා බ්‍රැන්ඩන්

ඔහු නමින් ‘බ්‍රැන්ඩන් ඩේමියන් ඉංග්‍රම්’(Brandon Damian Ingram) එහෙම කිව්වට ඔහුව හඳුනන්නෙ නැති පිරිසකුත් ඇති. හැබැයි බ්‍රැන්ඩන්ව හඳුනන්නෙ නැති අයට ලේසියෙන්ම හඳුන්වල දෙන්න පුළුවන් ක්‍රමේකුත් තියෙනවා. ඒ තමන්ගෙ ආදරණීය අම්මගෙ නමත් එක්ක. එදා වගේම අදත් අපිව සංගීතයෙන් මුසපත් කරන කොරින් අල්මේදා. ඇගේ එකම පුතු තමයි බ්‍රැන්ඩන්, ගායනයෙන්, රංගනයෙන් වගේම ලේඛනය හරහාත් කලා ලොවේ සාර්ථක ගමනකට ආරම්භයක් ගත්තු බ්‍රැන්ඩන් එක්ක අපි ටිකක් කතාබහ කළා.

ලේඛන කලාවට ඔබ නැඹුරු වෙන්නෙ කොහොමද?

ඒක මට හරියට මෙන්න මෙතනයි කියලා තැනක් පෙන්වන්න බැහැ. ඉස්කෝලෙ යන කාලෙ මට අම්මව හමුවෙන්නෙ හරිම අඩුවෙන්. එයා රෑට ප්‍රසංග වලට ගිහින් එද්දී මම උදෙන්ම ඉස්කෝලෙ. මම ගෙදර එද්දී අම්ම නිදි. ඉතින් මම හැදුනෙ වැඩුනෙ ආච්චියි පුංචියි එක්ක. ඒ කාලෙ ඉඳල මගේ හිතට එන එක එක අදහස් මම ලියන්න පුරුදු වුණා. හැමදේම ලියල මම එකතු කරනව අම්මට පෙන්නන්න ඕනෙ කියලා. අම්ම ඒවා බලල හරි ආසාවෙන් කියවල මට කියනව වෙරි ගුඩ් කියලා. ඒත් අන්තිමට අහනව ඇත්තටම පුතා ඔයාමද මේක ලිව්වේ කියලා. මම ලියන ඒවා රසවින්දට එයාට මගේ ලේඛනය ගැන ඩවුට් එකක් තිබුණා.

ගායනය ඔබට ආගන්තුක කලාවක් නෙමෙයි

අනිවාර්යයෙන්ම. කොයිවෙලාවෙත් ගෙදර බජව්. මොකද ආච්චියි සීයයි දෙන්නත් සංගීතයට ප්‍රියයි. අම්මයි මාමයි දෙන්නත් එහෙමයි. අනික් අතට අපේ ඥාති පවුල්වල හැමෝමත් ගායනා කරන්න. වාදනය කරන්න දක්‍ෂයි. ඉතින් ඕව ඇහිල ඇහිලම මටත් ඒ හැකියාව ලැබෙනවා. ඒ හැකියාව ප්‍රයෝජනයට අරන් මම අම්මත් එක්ක ගීත කිහිපයක් මේ වෙද්දී ගායනා කරල තියෙනවා.

රංගනයට ආරම්භය ගත්තෙ කොහොමද කිව්වොත්

ඒක මම අහම්බෙන් යොමුවුණු තැනක්. ලේඛනයට තිබුණු හැකියාව ප්‍රමෝට් කරගෙන ගිහින් මගේ රැකියාවට පසුබිම හැදෙන්නෙත් ඒ හරහා. මම ජේ. වෝල්ටර් තොම්සන් (J. Walter Thompson) කියන ජාත්‍යන්තර ආයතනයේ අපේ රටේ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිර්මාණ අධ්‍යක්‍ෂවරයා ලෙස තමයි කටයුතු කරන්නෙ. ඒ දේවල් අතරෙ ඉන්නකොට තමයි මට දැනට අවුරුදු දෙකකට විතර කලින් දීපා මෙහෙතා මහත්මිය ෆනී බෝයි චිත්‍රපටයේ රඟපාන්න ආරාධනා කරන්නෙ.

ෆනී බෝයි කියන්නෙ ලිංගිකත්වය ගැන වැඩියෙන් කතාබහට ලක්වන නිර්මාණයක්. එවැනි නිර්මාණයක චරිතයක් වෙන්න හිතහදාගත්තෙ කොහොමද?

මෙහෙමයි. මම ඉස්සෙල්ලම මේ දේ කියන්න ඕන. අද වෙනකොට මම මේ සමාජයෙ අයිඩින්ටිෆයි වෙන්නෙ සමරිසි පුද්ගලයෙක් හැටියට. ඒ කාරණාව මම ඕපන්ලි අපේ රටේදී වගේම ලෝකෙ වටේම කතාබහ කරලා තියෙනවා. මොකද දණ්ඩ නීති සංග්‍රහයෙ 365 වගන්තිය යටතේ සමරිසි පුද්ගලයන්ට එරෙහිව නීතියේ බලපෑම් කරන්න උත්සාහ කරනව. ඉතින් ඒ දේවල් වෙනස් කරන්න අපි ගොඩක් වැඩ කරනව. ඒ වගේ පසුබිමක එවැනි චරිතයක් හරහා මගේ හෝ වෙන කෙනෙකුගේ ඇත්ත ස්වරූපය වගේම ඒ සත්‍යය සමාජය අතරට ගෙනියන්න අපි පස්ස ගහන්න ඕන නැහැ. මම කවදත් සිංහල මාධ්‍ය හරහා මේ ගැන ඕපන්ලි කතා කරනවා. විශේෂයෙන්ම බොහොම මෑතක දී ලහිරුත් එක්ක කරපු ඉන්ටර්විව් එක හරහා.

අසම්මත දේවල් සම්මත කිරීමේ වෑයමකද ඔබ නිරත වෙන්නෙ

නැහැ. කවුරුහරි එහෙම හිතනව නම් ඒක වැරදි තීරණයක්. දැන් බලන්න මගේ පළමු කෘතියෙන් මම කතාකරන්නෙ අපේ රටේ කුඩා දරුවන්ට සිද්ධවෙන ලිංගික හිංසනය ගැන. මොකද ඒ නොදරුවො ලිංගිකත්වය ගැන කිසිදු ආකාරයක දැනුමක් නැතුව අවබෝධයක් නැතුවයි බලහත්කාරයෙන් අකමැත්තෙන් අපචාරවලට ගොදුරු වෙන්නෙ. මම ඒ දේවල් වලට බොහොම විරුද්ධ නිසාම තමයි ලේඛනයට තියෙන මගේ හැකියාව ප්‍රයෝජනයට අරගෙනිචයිල්ඩ් ඇබියුස්. ටොපික් එක යටතේ ඒ අසාධාරණකම් ගැන ලිව්වේ.

ඉදිරියේ දීත් ඔබේ ලේඛනය සහ රංගනය මෙවැනි දේ සම්බන්ධයෙන්මද?

මම ලියන්න ඕන සහ රඟපාන්න ඕන එවැනි දේවල්මයි කියල මම මතයක් හදාගෙන එක රාමුවකට කොටු වෙන්නෙ නැහැ. හැබැයි ඒ හරහා සමාජයට යම් පණිවුඩයක් දෙන්න කවුරිහරි මාව තෝරාගත්තොත් මම ඒකට මගේ උපරිමය යොදවල සාධාරණයක් කරන්න කැමතියි.

චරිතයක් හරහා සමාජයට පණිවුඩයක් දීම අත්‍යවශමද

අත්‍යවශ්‍යමයි කියල දෙයක් නෑ. ඒත් ලබාදෙන පුංචිම හරි පණිවිඩයක් හරහා කෙනෙක් සමාජයේ සුවපත් වෙනවා නම් ඒක ලොකු දෙයක්. මම පොඩි කාලෙ බලපු දූ දරුවෝ, නෑදෑයෝ, පළිඟු මැණිකේ වගේ ටෙලි ඩ්‍රාමා ඒ කාලෙට අදාළව සමාජයේ ඇත්ත තත්ත්වය වියයුතු වගේම නොවිය යුතු දේ ගැන කියවුණා. ඒත් ඉන් මෙහාට අවුරුදු 20 කට 30 කට පස්සෙ අද අපිට බලන්න තියෙන්නෙ ලව් ස්ටෝරි ගැන විතරක් නම් නැන්දම්ම ලේලිගෙ රණ්ඩු සරුවල් නම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ සහ එවැනි ජාවාරම් ගැන විතරක් නම් ඒක අපි කාටවත් වැඩක් නැති දෙයක් හැටියටයි මම දකින්නෙ.

ඔබ හිතන විදියට මේ දේවල් වෙනස් කරන්න පුළුවන්ද

බැරිකමක් නෑ. මම ඉන්දියන් ඩ්‍රාමාස් හරියට ෆලෝ කරන කෙනෙක්. ඉන්දියානු ටෙලියක් තියෙනව අනුපමා කියල. එහි පෙන්වනවා භාරත දේශයේ කාන්තාවකට ඩිවෝස් එකක් ගැනීමේ බරපතළ බව. හැබැයි එයාල ඒ සබ්ජෙක්ට් එක හරිම ලස්සන විදියට ටැකල් කරනවා. අන්න ඒ කලාව හරහා තමයි සමාජයට මැසේජස් දෙන්න පුළුවන්. අපි ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වශයෙන් කලාවට බැඳෙන්නෙ අන්න ඒ වගකීම ඉටුකරන්න. එවැනි ටෙලිනාට්‍ය අපේ රටේ නොහැඳුනාම නෙමෙයි. නමුත් හිඟයි. ඒ හිඩැස නැති ටෙලිනාට්‍ය කලාවක පුරුකක් වෙන්න මම ගොඩක් ආසයි.

අනාගත සැලසුම් වෙන්නෙ මොන විදියටද

මම අනාගතය ජයගන්නෙ මොන විදියටද කියන එක තීරණය කරල අම්මට කිව්වෙ වයස අවුරුදු 17 දී. එතෙන්දී මගේ සෙක්ෂුවල් අයිඩින්ටිටි එක මොකද්ද කියන එකත් රැකියා කිරීමේ අවශ්‍යතාවයත් මම ඇයට දැන්නුවා. ඇය මාව තේරුම් ගත්තා. එහෙමයි කියල අපි දෙන්නගෙ අම්මයි පුතයි කියන ඥාති සම්බන්ධය බිඳවැටුණෙ නෑ. තව තවත් වර්ධනය වුණා. මම තෝරාගත්ත ජීවිතයට අම්ම මට ආශිර්වාද කළා. අපි දෙන්න එකිනෙකාට ගරු කරමින් ආදරය කරමින් බොහොම සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම අපි දෙන්නටම අනාගතය වෙනුවෙන් තියෙන්නෙ එකම බලපොරොත්තුවයි. ඒ ජීවත්වෙන අවසාන දිනය දක්වා කිසිම කෙනෙකුට කරදරයක් නැතුව ජීවත් වෙන එක.

– ධම්මික හේවාවසම්/Divaina

- ඔබගේ මිතුරන්ටත් බලන්න Share කරන්න..