සජිත් දරුවන්ට ලියුමක් ලියයි

2024 ජනාධිපතිවරණය නීති බලාත්මක වන ජුලි මස 29 වැනි දා සිට සැප්තැම්බර් 22 දක්වා කාල සීමාව තුළ මැතිවරණය නීති රීතිවලට අවනත වෙමින් අකමැත්තෙන් වුවත් ‘සක්වළ’ වැඩසටහන නතර කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව පවසා ඇත්‍තේ දරුවන්‍ට විවෘත ලිපියක් ලියමිනි.

ආදරණීය දුවේ පුතේ,

ශ්‍රී ලාංකේය දූ පුතුන් සුහුරු පුරවැසියන් ලෙස ලෝකයට දායාද කිරීමේ අරමුණ පෙරදැරිව ම’විසින් මීට වසර දෙකකට (02) පෙර දියත් කළ “සක්වළ” ක්‍රියාන්විතය, ජනාධිපතිවරණ නීතිය බලාත්මක වන මේ වකවානුව තුළ තාවකාලිකව අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසම මා වෙතින් ඉල්ලීමක් කොට තිබේ.

රාජ්‍ය අරමුදල් සතයක් හෝ මේ සඳහා වියදම් නොකළ ද, නීතිගරුක සහ යුක්තිගරුක පුරවැසියෙක් ලෙස මෙන්ම රාජ්‍යයේ ප‍්‍රතිපත්ති සම්පාදකයෙක් ලෙස, සාධාරණ මැතිවරණයක් සඳහා වන මෙම ඉල්ලීමට අවනත වීම මාගේ යුතුකමකි. වගකීමකි. එබැවින්, ජූලි මස 29 වැනි දින සිට සැප්තැම්බර් 22 දක්වා වූ කාලය තුළ වේදනාවෙන් වුව ද තාවකාලිකව “සක්වළ” ට සමුදීමට සිදුව තිබෙන බව හතලිස් තුන් ලක්ෂයක් වූ ජාතියේ දූ පුතුන් වන ඔබ වෙත ආදරයෙන් දැනුම් දෙමි.

සමාරම්භක මොහොතේ සිට අද දක්වා ශ්‍රී ලංකාව පුරා විහිදෙන පරිදි පාසැල් තුන්සිය අසූ පහක් (385) වෙත “සක්වළ” වැඩසටහන තුළින් සුහුරු පන්ති කාමර සහ පාසල් දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට පාසල් බස් රථ අසූ නමයක් (89) දායාද කොට තිබෙන බව මා ඔබ වෙත දන්වන්නේ නිහතමානී බව කැටි වූ සාඩම්බර හැඟීමකිනි. මවුබිමට හා දරුවන්ට ආදරය කරන පියෙකු හා පුරවැසියෙකු ලෙස එය මා ජීවිත කාලය තුළ ලබා ගත් අසීමිත වටිනාකමකි. ගෞරවයකි.

කෙසේ වෙතත්, සැප්තැම්බර් මස 21 න් පසුව නියත වශයෙන්ම නැවතත් මා මෙම අනාගතවාදී වැඩසටහන ආරම්භ කරන බව ඔබ වෙත දන්වා සිටින්නේ දැඩි අධිෂ්ඨානයකිනි. ඒ අනුව, තුන්සිය අසූ හය වැනි (386) “සක්වළ” සුහුරු පන්ති කාමරය මෙම සැප්තැම්බර් මස 26 වැනි බ්‍රහස්පතින්දා දින අම්පාර දිස්ත්‍රික්කයේ අම්/මඩවලලන්ද මහා විද්‍යාලයෙන් ආරම්භ කිරීම සඳහා සියලු සැලසුම් අප විසින් දියත් කොට අවසානය.

එතැන් සිට, 2025 දෙසැම්බර් 31 දින වන විට ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන පාසල් 10096 සහ පිරිවෙන් 822 මෙන්ම උපකෘත ගණයේ පාසල් 126 සුහුරු පන්ති කාමර වලින් නොනැවතී සුහුරු පාසල් බවට පත් කිරීම රාජ්‍යයේ පරම වගකීමක් ලෙස සලකා අප විසින් කටයුතු කරන බව ඔබ වෙත සෙනෙහසින් දන්වා සිටිමි.

ඒ අනුව, කෘතිම බුද්ධිය (Al) ප්‍රමුඛ නූතන තාක්ෂණයෙන් සන්නද්ධ වූ විසි දෙවැනි ශතවර්ෂය ඉල්ලා සිටින පුරවැසියන් ශ්‍රී ලංකාවෙන් ලෝකයට දායාද වනු නිසැකය.

ආදරණීය දූ පුතුනි. එතෙක් ඔබටත්, ඔබගේ ආදරණීය දෙමව්පියන්ටත්, ගුරු – විදුහල්පතිවරුන්ටත් ධෛර්ය සම්පන්න හා නිරෝගිමත් අනාගතයක් ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මම,
සෙනෙහස පෙරදැරිව,

සජිත් ප්‍රේමදාස
06.08.2024

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!