2022 අරගලයේදී කුමන්ත්‍රණයක් කිරීමට ඇතැම් හමුදා ප්‍රධානීන් උත්සාහ කරමින් සිටි අතර දේශපාලන නායකයන්ට අවශ්‍ය වූයේ ඒ සඳහා ඉඩ ලබා දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
තමන්ගේ සේනාධි නායකයාව ආරක්ෂා කර ගැනීමට බැරි තමන්ගේ රටේ ජනතාව හා දේපළ ආරක්ෂා කරගන්න බැරි හමුදාවක්, අවාසනාවන්ත යුධ හමුදාපතිවරු, අවාසනාවන්ත ආරක්ෂක ප්‍රධානීන් හිටපු රටක් මේ යැයි ඔහු පවසා සිටියා.
2022 මාර්තු මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ආරක්ෂා කිරීම එවකට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රතික්ෂේප කළ බව විතානගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
“මාර්තු 31 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ගෙදරට ගහන වෙලාවේ ගෝඨාභය ජනාධිපතිතුමා 8 ට විතර කතා කරලා කිවා ගේ ළඟ කලබලයක් තියෙනවා. පොඩ්ඩක් බලන්න කියලා .මම එතනට යනකොට විශාල පිරිසක් එතනට රැස් වෙලා හිටියා. ගෝඨාභය ජනාධිපතිතුමා මට නැවත කතා කරලා කිව්වා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්තයට කතා කරලා කියන්න කියලා.
ළමයි විශාල පිරිසක් එනවා කියලා දැනගන්න ලැබුණා. ඒ නිසා හමුදා රථ යුද්ධ ටැංකි කිහිපයක් දාලා හරි පාරවල් බ්ලොක් කරන්න කියලා. මම ඒ වෙලාවේ යුධ හමුදාපතිතුමාට කතා කරලා ඒක කිව්වම කිව්වේ මන්ත්‍රීතුමා මේක දේශපාලන ප්‍රශ්ණයක්. ඔබතුමන්ලාගේ ආධාරකරුවන් ගෙනිහිල්ලා පොලුවලින් ගහලා හරි මේක පාලනය කරන්න මේක අපේ ප්‍රශ්ණයක් නෙවෙයි කියලා. මෙන්න මෙහෙම තමයි ඒ සිද්ධිය පටන් ගත්තේ.”
“ඊට පස්සෙ මැයි 09 වැනිදා යම් සිදුවීමක් වුණා. එදා උදේ ගොල්ෆේස් එකට යන්න කලින් අරලියගහ මන්දිරයට ආව බස් රථවල අංක ටික දිවයින පුරා වට්ස් ඇප් මාර්ගවලින් ප්‍රචාරය වුණා. රාත්‍රිය වන විට අති බිහිසුණු තත්ත්වයක් ඇති වුණා. රට අරාජික වුණා. ජාතික ආරක්ෂාව බිඳ වැටුණා.”
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා පාර්ලිමේන්තුව අසලට පැමිණ සමාජ මාධ්‍ය ඔස්සේ පාර්ලිමේන්තුව වට කිරීමට එන්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
අරගලය පාර්ලිමේන්තුව දෙසට හරවන්න ගියත් ගෝඨා පන්නපු එකෙන් සත පහක වැඩක් වුණේ නැති බවට ප්‍රකාශ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත සහෝදරයා කළ කතාවෙන් ද ඔවුන්ගේ සැලසුම තහවුරු වූ බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.