රත්නපුර ඓතිහාසික මහ සමන් දේවාලය ආසන්නයේ කළු ගඟේ මැණික් පතල් සහ වැලි කැණීම් තහනම් කර ඇති කලාපය තුළ මැණික් ගැරීමට භාවිත කළ සබ්මැරිනයක් ආකාරයේ යන්ත්‍රයක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.
මෙම යන්ත්‍රය ගඟ පත්ලේ මෙන් ම ගොඩබිම ද ගමන් කළ හැකි නව තාක්ෂණය යොදා සකස් කළ නිර්මාණාත්මක යන්ත්‍රයක් බවයි පොලිසිය පවසන්නේ.
මෙම යන්ත්‍රය භාවිතයෙන් මැණික් ගරමින් සිටි පස් දෙනෙකු ගඟේ පිහිනා පැන ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය ආසන්නයෙන් ගලා බසිනා කළු ගඟ වැලි ගොඩ දැමීම, අනවසර පතල් කැපීම තහනම් කලාපයකි.
එම කලාපය තුළ නවීන තාක්ෂණයෙන් නව නිර්මාණයක් ලෙස ඝනකම යකඩ තහඩු උපයෝගී කර ගනිමින් තැනූ බෝට්ටුවක් භාවිත කරමින් කළු ගං පතුලේ මැණික් ඉල්ලම් ගනිමින් තිබූ දිය ගොඩ දෙකේ ම ගමන් කළ හැකි බෝට්ටුව පොලිස් නිලධාරීන් පැන අත්අඩංගුවට ගනිද්දී මැණික් ජාවාරම් කළ පුද්ගලයන් ගඟේ පිහිනා පැන ගොස් තිබෙනවා.
දිගු කාලයක සිට රාත්‍රී කාලයේදී මෙම ජාවාරම සිදුවෙමින් පැවැති බව ගම්වාසීන් මෙන් ම පොලිසිය ද පැවැසූ අතර, මෙම බෝට්ටුව තැනින් තැනට ගමන් කළ හැකි ජංගම සකර් යන්ත්‍රයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
මෙම යකඩ බෝට්ටුව ඇතුළේ අධිබලැති එන්ජිමක් සවිකර එය නොපෙනෙන ලෙසට යකඩ තහඩුවලින් ආවරණය කර තිබූ අතර, බැලූ බැල්මට මෙම යකඩ බෝට්ටුව පසුගිය එල්ටීටීඊ යුද සමයේ කොටි සාමාජිකයන් විසින් තැනූ සබ්මැරීනයකට සමානව නිර්මාණය කර ඇති බව ද මෙවැනි යන්ත්‍රයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ, ප්‍රථම වතාවට බව ද වැටලීමට එක් වූ පොලිස් නිලධාරීන් සඳහන් කළා.
මෙම බෝට්ටුවේ සවිකර තිබෙන යන්ත්‍රය මගින් පැයක් ඇතුළත බෝට්ටු දෙකක් පිරෙන්න ඉල්ලම් ගං පතුලෙන් ලබා ගන්නා බව අනාවරණය වූ අතර මෙය වෙනත් සකර් මැෂින් මෙන් නොව කළු ගඟේ තැනින් තැනට ගමන් කළ හැකි යන්ත්‍රයක් වන අතර, හදිසි අවස්ථාවක සුදුසු ස්ථානයකින් ගොඩට ගෙන පාරේ ගමන් කරවීම සඳහා රෝද ද සවිකර ඇති අයුරු දක්නට ලැබෙනවා.
මෙම වැටලීම ඉකුත් 3 වන දින රාත්‍රී කාලයේ සිදුකරන අවස්ථාවේ සමන් දේවාලය පිටුපසින් කළු ගඟ හරහා ඉදිකර තිබෙන වැල් පාලම ආසන්නයේ පාලම ද අනතුරේ හෙළමින් ඉල්ලම් ගොඩ අදිමින් සිට තිබෙනවා.
පොලිසිය මෙම වැටලීම සිදුකරද්දී සැකකරුවන් ගඟේ කිමිඳී පළා ගොස් ඇති අතර ලක්ෂ ගණනාවක් වටිනා එම යන්ත්‍රය පොලිස් අත්අඩංගුවට පත් වුණා.
අධික බරකින් යුත් මෙම යන්ත්‍රය ගඟෙන් ගොඩ ගැනීම සඳහා පහසු ස්ථානයක් සොයා ගඟ පහළට ගෙන යෑමට සිදුවූ අතර එය ගඟෙන් ගොඩ ගැනීමට දොඹකරයක් භාවිත කරමින් විශාල වෙහෙසක් දැරීමට පොලිසියට සිදු වු බවයි වාර්තා වන්නේ.
ගමේ තරුණ පිරිස් ද ඊට සහාය වී ඇති අතර දොඹකරේ යකඩ රැහැනක් ද මෙහි අධික බර නිසා කැඩී යෑමකට ලක්වු බව සඳහන්.
බෝට්ටුව රත්නපුර පොලිසියට රැගෙන ගිය අතර එය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.