වසර 27කට පසු ඉන්දියාවට එරෙහි විශිෂ්ඨ ජයග්‍රහණයක්

ඉන්දියාවට එරෙහිව පැවති තුන්වැනි එක්දින තරගයෙන් ලකුණු 110 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිළ සමත් වුණා.

ඉදිරිපෙළ පිතිකරුවන් ලබාගත් ආරම්භයෙන් විශිෂ්ඨ ප්‍රයෝජන ගත් දුනිත් වෙල්ලාලගේ (27/5) ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ දෙපිල අතර එක්දින තර­ගා­ව­ලිය 2-0ක් ලෙස ජය­ගැ­නී­මට ශ්‍රී ලංකා ක්‍රීඩ­කයන්ට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා පිල ඉන්දීය පිල හමුවේ වසර 27ක එක්දින තර­ගා­වලි පරා­ජ­යන් රැල්ලට තිත තැබීමට ද ඒ අනුව හැකියාව උදා වුණා.

ශ්‍රී ලංකා පිල අව­සන් වරට 1997 වසරේ අර්ජුන රණ­තුං­ගගේ නාය­ක­ත්ව­යෙන් ඉන්දියාවට එරෙහිව එක්දින තර­ගා­ව­ලි­යක් 3-0ක් ලෙස ජය­ගෙන තිබූ අතර, අන­තු­රුව දෙරට අතර පැවති ද්වීපා­ර්ශ්වික එක්දින තර­ගා­වලි 11ම ජය­ගෙන තිබුණේ ඉන්දි­යා­වයි.

චරිත් අසං­ලක ශ්‍රී ලංකා එක්දින කණ්ඩා­යම මෙහෙ­යවූ පළමු අව­ස්ථාව මෙය වන අතර, මේ කණ්ඩා­යමේ පුහු­ණු­කරු ලෙස කට­යුතු කරන සනත් ජය­සූ­රිය ශ්‍රී ලංකා පිල අව­සන් වරට (1997) එක්දින තර­ගා­ව­ලි­යක් ජය ගනිද්දී එම කණ්ඩා­යමේ ආර­ම්භක පිති­කරු ලෙස කට­යුතු කරනු ලැබූ ක්‍රීඩකයෙක් වීම නිසා නායක චරිත්ට මෙන්ම පුහුණුකරු සනත්ට ද මෙම තරගය සුවිශේෂී වුණා.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 249ක ඉල­ක්කය හමුවේ ඉන්දීය පිලට ඕවර 26.1කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 138ක් පමණි.

ඉන්දීය පිළි­තුරු ඉනිම ලකුණු 37ක් වෙද්දී පළමු කඩුල්ල බිඳ වැටුණු අතර, වේග­වත් ආර­ම්භ­යක් දීමට උත්සාහ කළ නායක රෝහිත් ශර්මා පන්දු 20කින් ලකුණු 35ක් රැස් කර සිටි­යදී දුනිත් වෙල්ලා­ල­ගේගේ පළමු ගොදුර බවට පත් වෙමින් දැවී ගියා.

පළමු කඩු­ල්ලට ලකුණු 37ක් එක්වී­මෙන් අන­තු­රුව 9 වැනි කඩු­ල්ලට ද ලකුණු 37ක් එක් කිරී­මට වොෂිං­ටන් සුන්දර් සහ කුල්දීප් යාදව් සමත් වූ අතර, සෙසු පිති­ක­රු­වන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යව­න්න­න්ගෙන් අව­ස්ථා­වක් නොලැ­බිණි.

සුන්දර් ලකුණු 30ක්, විරාට් කෝලි ලකුණු 20ක් සහ රියාන් පරාග් ලකුණු 15ක් රැස් කළ අතර, සෙසු පිති­ක­රු­වන්ට ලකුණු 10 සීමාව ඉක්ම­වී­මට අව­ස්ථා­වක් ලැබුණේ නැහැ.

ඊයේ සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සට­හන් කළ දුනිත් වෙල්ලා­ලගේ ලකුණු 27කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, ජෙෆ්රි වැන්ඩර්සේ සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 250 අබි­ය­සට ගෙන­යෑ­මට හැකි වුණේ මුල් පෙළ පිති­ක­රු­වන් තිදෙ­නාගේ සාර්ථ­ක­ත්ව­යෙන්.

පළමු කඩු­ල්ලට අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිශ්ශංක ලකුණු 89ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟුණු අතර, නිශ්ශංක පළමු කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 65කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 45ක් රැස්කර සිටි­ය­දීය.

ඉන්පසු අවිශ්ක දෙවැනි කඩු­ල්ලට කුසල් මෙන්ඩිස් සමඟ ලකුණු 82ක එක් කළ අතර, ඔහු දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 171ක්.

ජාත්‍ය­න්තර තරග වරම් හිමි­කර ගත් රියාන් පරාග් හමුවේ අවිශ්ක අවා­ස­නා­වන්ත ලෙස දැවී යන විට ශත­ක­යට ලකුණු 4ක් පසු­ප­සින් සිටියා.

පන්දු 102කදී හතරේ පහර 9කින් සහ හයේ පහර 2 ක් ඔහුගේ වර්ණවත් ඉණිමට ඇතුළත් වුණා.

අවි­ශ්කගේ දැවී­යෑ­මත් සමඟ පිති­ක­රු­වන් 5 දෙනකු ලකුණු 28ක් තුළ දැවී යෑමෙන් ශ්‍රී ලංකා­වට විශාල ලකුණු පුව­රු­වක් කරා යෑමට තිබූ අව­ස්ථාව අහි­මිව ගිය ද එක් අන්ත­යක් රැක­ගත් කුසල් මෙන්ඩිස් පන්දු 82කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 59ක් රැස් කළ අතර, කමිඳු පන්දු 19කින් ලකුණු 23ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළා.

අව­සන් තර­ගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු සම්මාන දිනා­ගත් අතර, තර­ගා­ව­ලියේ වීරයා සම්මා­නය දුනිත් වෙල්ලා­ල­ගේට හිමි වුණා.

Latest News

More like this

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...

පකිස්තාන සංචාරය නවතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් කොටසක් ආපසු ඒමට තීරණය කරලා !

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සංචාරයක...

ධනුෂ්ක මත්තේඕ, පැය 25 ක ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කරයි

යුරෝපයේ ඇති දිගම සානුව වන 🇮🇹 ඉතාලියේ Puglia ප්‍රදේශයේ...
error: Content is protected !!