“පුළුවන් ශ්‍රී ලංකා” නමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර කොළඹ හෝටලයකදී පැවැත්වුණු හමුවක් අතරතුර ජනාධිපතිවරයා පැවසුවේ අපුරු කතාවකි.
“මම මෙතැන ජනාධිපති හැටියට ඉන්නේ වෙන කවුරුත් භාර ගන්න කැමති වුණේ නැති නිසා… අවුරුදු දෙකකින් අපේ මූලික ප්‍රශ්ණය මං විසඳුවා. මං ඊයේ රූපවාහිනිය ඉස්සරහ ඉඳගෙන කල්පනා කළා මං මේක භාර නොගත්‍තා නම් මොකද වෙන්නෙ කියලා. බංගලාදේශයේ අගමැතිට යන්න කිව්වා. භාර ගන්න කෙනෙක් හිටියේ නෑ. අපි වාසනාවන්ත රටක් කොහොම හරි ආණ්ඩුවක් හදන්න පුළුවන් වුණා. ඒ නිසා තමයි ජනාධිපති ඡන්දෙ තියන්න අවස්ථාව ලැබුණේ”
නෑ. නෑ අපූරු කතාව ඒක නෙවෙයි. ඇඟට පතට නොදැනී තමාව අප් කර ගන්නා සුපුරුදු තැටිය ගහන ගමන් අපූරුම කතාව කිව්වේ (කියවුණේ) මැද්දෙ දී මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්ණයකට පිළිතුරක් දෙන අතරතුරයි.
මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණය මේකයි.
“විශේෂයෙන් ඔබතුමා වටා එකතුවෙලා ඉන්නා බොහෝ දෙනා චෝදනා බොහොමයක් තියෙන අය. ඔබතුමාට විශ්වාසයක් තියෙනව ද මේ අය එක්ක ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.
ජනපතිවරයා රටක් වටිනා ඒ ප්‍රශ්ණයට දුන්න අපූරු පිළිතුර මෙසේයි.
“චෝදනා තියෙන අයට නඩු දාල තියෙනවා. මං කවුරුත් නවත්‍තලා නෑ. මගේ ඉදිරි ගමන තියෙන්නෙ ජනාධිපති වෙන්න. එයාලගේ ඉදිරි ගමන තියෙන්නෙ පාර්ලිමේන්තු එන්න. ඡන්ද දායකයෝ ඒගොල්ලො ප්‍රතික්ෂේප කළොත් ප්‍රශ්ණෙ එතනින් ඉවරයි”
මේ උත්තරේ අපූරු වන්නේ මේ මොහොතේ රනිල් ප්ලේ කරන දේශපාලන ගේම් එක ඒ උත්තරේ ඇතුළෙ පිළිබිඹු වෙන නිසා. කොටින්ම ඒ උත්තරේ රනිල් මේ වෙලාවේ ගහන ගේම් එකේ සමරි එකක්. දේශපාලන තොත්ත බබෙක් නොවන රනිල් දන්නවා මේ වෙලාවේ හොර රොත්තම එකතු කරන් එයා අඳින්නේ ‘අලි බබාට’ කියලා.
රෝහිතත් රනිල්ට, මහින්දානන්දත් රනිල්ට, ප්‍රසන්නත් රනිල්ට, පවිත්‍රාත් රනිල්ට ආදී වශයෙන් අනූ ගාණක් වෙනකල් ආවත් එන්නෙ කොහොම සෙට් එකක් ද කියන එක රනිල් හොඳාකාරවම දන්නවා.
ඒක ප්‍රශ්ණයක් කියලත් රනිල් දන්නවා. ෆුල් රිලැක්ස් එකේ රෑට නිදාගන්න ගිහින් මනෝ පාරක් දාගෙන ඉන්න වෙලාවට වුණත් රනිල්ට හිතෙනවා ඇති මේ එන සෙට් එකත් එක්ක මට හදන්න වෙන්නෙ රාජපක්ෂ මොඩ්ල් එකේම ඩුප්ලිකේට් පාලනයක් නේද කියන එක . එතකොට ඒක මාර ප්‍රශ්ණයක් වෙනවනේ. මටත් ගෝඨාට වගේම අරගලේකට ෆේස් කරන්න වෙයි කියන අනියත බියකුත් ඒ එක්කම හිතට එනව ඇති. අම්මට සිරි දැන් කොහොමද මේ ප්‍රශ්ණෙ ඉවර කරන්නේ. ආ ඔය හොරු සෙට් එක ගැන ජනතාව බලා ගනීවි. එතකොට ඒ ප්‍රශ්ණෙත් ඉවරයි කියලා හිතලා හිත හදාගන්නව ඇති. අන්න ඒක තමයි මාධ්‍ය ප්‍රධානියෝ ඉස්සරහ කියවෙන්නේ ‘එතකොට ඒ ප්‍රශ්ණෙත් ඉවරයි’ කියලා.
“මගේ ඉදිරි ගමන තියෙන්නෙ ජනාධිපති වෙන්න.” සරලවම කිව්වොත් ඒ කිව්වෙ ජනාධිපති පුටුවට ඉඳගන්නකල් විතරයි මට උඹලව ඕන වෙන්නෙ කියන එක.
ඊට පස්සෙ වෙන දේ ජනතාව බලා ගනීවි. ඒක තමයි සරලම කතාව. පොහොට්ටුව අත ඇරලා රනිල්ගේ ඔඩොක්කුවට පැන්න සෙට් එක පව් ඕයි..
පොහොට්ටුවෙන් රනිල් ගාවට ගිය කණ්ඩායම ගත්තේ අතුරේ යනවා වගේ අවදානම් තීරණයක්. එයාලගේ මුල් එයාල අතින්ම සිඳගන්නවා වගේ වැඩක් ඒක. එයාලගේ මුල් පොළොවට අල්ලලා තිබුණේ රාජපක්ෂ කියන වෘක්ෂය එක්ක. මුල් ගලවගෙන යනකොට ගහ කඩාගෙන වැටෙනවා එක්කම මුලුත් මැරිලා යනවා. මහින්දලා ජොන්ස්ටන්ලා ඒකයි කිව්වෙ ඔය ගිය එක්කෙනෙක් එක්ක ඕන නම් ඡන්ද දාහක් දෙදාහක් යයි කියලා. රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ගිය පොහොට්ටු මන්ත්‍රීලාට වැලේ වැල් නැති වෙන්නෙ මහ මැතිවරණයේ දී කියලා ඒගොල්ලොත් දන්නවා. රනිලුත් දන්නවා.
ඒ වගේ රිස්ක් එකකට තමන්ගේ දේශපාලන අනාගතය දාගත්ත පොහොට්ටු මන්ත්‍රීලා ගැන රනිල් මාධ්‍ය ප්‍රධානීන් ඉස්සරහ කිව්ව කතාව ඔහුගේ දේශපාලන ආත්මාර්ථකාමීත්වය අවස්ථාවාදීත්වය කදිමට පෙන්නුම් කළා. රනිල් කරන්නේ තමන්ගේ වැඩේ කරගන්නා තෙක් පොහොට්ටුවේ මන්ත්‍රීලා යූස් කිරීමක් විතරයි. අඩු තරමේ ඡන්දෙ ඉවර වෙනකල්වත් තමන් වෙනුවෙන් ඉස්සරහට ආව සෙට් එක වෙනුවෙන් පෙනී ඉන්න ඔහුට බැරිවුණා. රනිල්ට මේ වෙලාවේ ඔය මන්ත්‍රීලා ටික ඕන ඔලුගෙඩිවලින් එයාට තියෙන බලේ පෙන්නන්න විතරයි. හොරු ටික ඔඩොක්කුවේ. හොරු රකින්නේ නෑ කියල පෙන්නනන්නත් ඕන එළියෙ තියෙන ඡන්ද නොකැඩී බේරගන්නත් ඕන.
පොහොට්ටු මන්ත්‍රීලා රනිල් ගාවට ආවෙම ඔවුන්ට පක්ෂය ඇතුළේ විශාල විරෝධයක් එල්ල වුණා. නාමල් බැසිල් පාර්ශවයෙන්. රනිල්ට සහයෝගය දීම එක්ක ඔවුන්ව පක්ෂය ඇතුළේ හංවඩු ගැහුවේ රනිල්ගේ පුතාලා කියලා. ඒ පුතාලට තාත්තා කරන්න යන දේ අන්තිමේ කටින් එළියට පැන්නා. එහෙම කියද්දිත් පවිත්‍රාත් දුවගෙන ඇවිත් ඒ ඔඩොක්කුවටම පැන්නා. ඊයේ රෑ නිවුස්වත් බැලුවනම් පවිත්‍රා දෝණි හරි බේරගන්න තිබ්බා. පව් ඉතින්…මොනවා කරන්න ද? පළගැටි පහන් දැල්ලට පනින්නෙත් මැරෙන බව දැනගෙනමලුනේ ඉතින්.