සිකුරාදා අලුයම 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් අර්ෂාඩ් නඩීම් නව ඔලිම්පික් වාර්තාවක් ද පිහිටුවමින් පාකිස්තානයේ පළමු රන් පදක්කම වාර්තා කිරීමට සමත් වුණා.
ඒ හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ දී ඔහුගේ හෙල්ල දර්ශනීය ලෙස මීටර 92.97 ක දුරකට විසි කරමිනි.
එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගනු ලැබුවේ වසර තුනකට පෙර ටෝකියෝ ගිම්හාන ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනූ ඉන්දියාවේ නීරාජ් චොප්රා විසින්. ඔහුගේ හෙල්ල මීටර් 89.45 ක දුරක් සලකුණු කර තිබුණා. ගිය වසරේ අර්ෂාඩ්ට පැරණි හෙල්ලය වෙනුවට අලුත් එකක් මිලදී ගැනීමට අවශ්‍ය වූ වී ඇතැයි සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන විට ඔහුට හෙල්ලක් ලබා දීම සඳහා ඉදිරිපත් වූ ජ්‍යාත්‍යන්තර ශූරයා වූයේ නීරාජ්ය. අර්ෂාඩ් නිතර නීරාජ්ගේ වීඩියෝ බලමින් ක්‍රීඩාව සඳහා ඔහුගේ අභාෂය ලබා ගත් අයෙකි.
කෙසේ වෙතත්, ඔහු මේ වන විට නීරාජ් ද අභිබවා පාකිස්තානයේ පළමු ඔලිම්පික් රන් පදක්කම් ලාභියා ලෙස වීරත්වයට පත් වී සිටිනවා. 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී නෝර්වේ ජාතික ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් තැබූ 90.57 ඔලිම්පික් වාර්තාව අර්ෂාඩ් නඩීම් විසින් බිඳ දමනු ලැබුවේ විශිෂ්ඨත්වයට පත්වෙමිනි.
2024 පැරිස් ඔලිම්පික් සඳහා ගිය සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් පකිස්තාන කණ්ඩායමෙන් අවසන් වටයට යාමට සුදුසුකම් ලැබුවේ ද නඩීම් පමණි.
ඔහු පදක්කම් වටය දක්වා ඉදිරියට යද්දී, ඔහුගේ මවුපියන්, සහෝදරයන්, බිරිඳ, දරුවන් දෙදෙනා සහ ගම්වැසියන් ‘පකිස්තාන් සින්දාබාද්’ කියමින් පාකිස්තානයේ සිට ජය ඝෝෂා කළා.
“මගේ පුතාට ඔලිම්පික් පදක්කමක් ගෙදර ගේන්න පුළුවන් නම් ඒක අපිට වගේම මේ ගමේ හැමෝටම ආඩම්බරම අවස්ථාවක්” ඔහුගේ පියා පැවසුවේ සතුටු කඳුළු උතුරන ඇස්වලින් සිනාසෙමින්.
ඔහුගේ පියා ඉදිකිරීම් අංශයේ කම්කරුවෙක් වූ අතර හෙල්ල පුහුණුවීම් සඳහා ප්‍රමාණවත් මුදලක් ඔවුන් සතුව තිබුණේ නැහැ. ඔහුගේ පියා වන මුහම්මද් අෂ්රෆ් පවසන පරිදි, ඔහුගේ පුහුණුවීම් සඳහා මුදල් ලබා දෙන්නේ පන්ජාබ් ප්‍රදේශයේ ඛානේවාල් ගම්මානයේ ගම්මුන් විසිනි.
“දවසකට රුපියල් 300-400ක් උපයන දවස් අපි දැකලා තියෙනවා, ගෙදර ඉන්න නව දෙනෙක් නඩත්තු කරන්න සිද්ධ වුණා. ඒත් අපි අර්ෂාඩ්ට සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ට කිරි සහ ගිතෙල් ලබා දීමට වග බලා ගත්තා” ඒ ඔහුගේ මාමා කෙනෙක් කියන කතාවයි.
පකිස්තානයේ පන්ජාබ් ප්‍රදේශයේ ඛානේවාල් ගම්මානයේ සිට පැමිණි නඩීම් 2024 පැරිස් වෙත යාමට රටේ ජාතික ක්‍රීඩා ආයතනයෙන් මුදල් ලබා ගත් එකම මලල ක්‍රීඩකයාය. 27 හැවිරිදි නඩීම් දැන් රටට ණය නැහැ. ඔහු රටට ලෝකයක් වටින පදක්කමක් ලබා දී තිබෙනවා.
නමුත් ඔහුගේ ආරම්භය කිසිසේත් පහසු එකක් වුණේ නැහැ. සහෝදර සහෝදරියන් හත් දෙනාගෙන් තුන්වැන්නා නඩීම් වූ අතර ඔවුන්ට මස් ටිකක් ආහාරයට ලැබුණේ වසරකට එක පාරක් පමණි.
එම දුෂ්කරම කාලයේ දී පවා ඔහු කිරි සහ ගිතෙල් වලින් පොහොසත් ආහාර වේලක් ලබා ගැනීමට සහතික වුණේ මාමා බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ඔහු දැන් ඛානේවාලේ ගමට පමණක් නොව මුළු පාකිස්තානයේම වීරයා බවට පත් වී සිටී.