තෝරාගත් ජනාධිපති අපේක්ෂකයන් 06 දෙනකු පමණක් යොදාගෙන පැෆරල් සංවිධානය විසින් ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පෙරේදා (19දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් රඛිත රාජපක්ෂ මහතා විසින් අදාළ පැමිණිල්ල ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.
එම පෙරමුණින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලෙන් ජනාධිපති අපේක්ෂකයින් කිහිප දෙනෙකු වෙත විශේෂයක් යොමු කිරීම මඟින් පැෆරල් සංවිධානය නිදහස් හා සාධාරණ මැතිවරණයකට මරු පහරක් එල්ල කර ඇති බවයි චෝදනා කර ඇත්තේ.
එම පැමිණිල්ලට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, මවුබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේත්‍රන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 07 වැනිදා ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි සඳහන් කර තිබෙනවා.
එම විවාදය මෙරට ප්‍රධාන විද්‍යුත් නාළිකා 07 ක් සහ සමාජ මාධ්‍ය පිටු 200ක් හරහා සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇතැයි එහි දැක්වෙනවා.
කිසිදු පිළිගත හැකි නිර්ණායකයන් නොමැතිව මෙලෙස අපේක්ෂකයන් තෝරාගෙන ඇති බවත් ඉන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අනෙකුත් අපේක්ෂකයන් අවතක්සේරුවට ලක්කරමින් ඔවුන් ඡන්ද ලබා නොගන්නා බව වක්‍රාකාරව ප්‍රකාශ කරමින් බරපතළ ප්‍රකාශයක් සිදුකර ඇති බවත් සඳහන් තිබෙනවා.
මෙම විවාදයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන්ට ආරාධනා කර නැති බව ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එබැවින් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කර පැෆරල් සංවිධානයට දැඩි නීතිමය පියවර ගන්නා ලෙසද මෙවැනි සංවිධාන මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසද එමඟින් ඉල්ලීම් කරයි.