ප්‍රශ්ණගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) ඇප නියම කළා.
රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් රු ලක්ෂ 50 බගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඒ අනුව නියෝග කර සිටියා.
සැකකරුවන්ට විදේශ ගමන් තහනමක්ද මහේස්ත්‍රාත්වරිය විසින් පනවනු ලැබුවා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සහ රජයේ රෝහල් පද්ධතිය තුළ ඒවා බෙදා හැරීම හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 2 වැනිදාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ දී ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පෑම, ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනිසි ලෙස මැදිහත්වීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාට එරෙහිව එහි දී චෝදනා ගොණු කෙරුණු අතර ඔහු එම නඩුවේ අටවැනි සැකකරු ලෙස නම් කෙරුණා.
පසුව කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම ඔහුගේ නීතිඥයන් ඇප ඉල්ලා සිටිය ද මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
එවැනි පසුබිමක මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව හිටපු ඇමතිවරයාගේ වෛද්‍ය වාර්තාවක් කැඳවා තිබූ අතර එම වෛද්‍ය වාර්තාව ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඔහු දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර ඔහුගේ වකුගඩු පරීක්ෂාවකට යොමු කළ යුතු බව එහිදී සඳහන් වුණා.
එමෙන්ම හෘද රෝගියකු ද වන කෙහෙළිය රඹුක්වැල්ල වසර 10 ක් තුළ නැවත හෘදයාබාධයකට ගොදුරු වීමේ 53%ක සම්භාවිතාවක්ද පවතින බව ඔහුගේ නීතිඥ්යන් පෙන්වා දී තිබෙනවා.
මෙහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇප ලබා දීමට විරුද්ධ වෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ලක්මිණි නිරිහාගම පැවසුවේ රක්ෂිත බන්ධනාගාරගත වී සිටිය දීම කොළඹ ජාතික රෝහලේ නවත්වා හෘද රෝග සම්බන්ධයෙන් පරීක්ෂාකර මානසික වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා ඔහු අංගොඩ මානසික විද්‍යාතනයට යොමු කළ යුතු බවයි.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරිපත් වූ කරුණු සලකා බලා සැකකරු ඇප මත මුදා හරින බවට නියෝග කළා.