ජනතා විමුක්ති පෙරමුණේ පැරැණි ප්‍රතිපත්ති ප්‍රකාශය හා අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශය අතර වෙනස සහ පැරණි ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ ද හෝ ජනතා විමුක්ති පෙරමුණ එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉවත් වී ඇත්ද, ඉවත් වී ඇත්නම් ඒ කුමන වගන්තිවලින් ද, එම පැරණි ප්‍රතිපත්ති ප්‍රකාශනය යට ගසා ඇත්තේ කාගේ උවමනාවකට ද යන්න ප්‍රකාශ කරන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන්ට අභියෝග කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ‘විකල්පය ජනතාව මර්දනය කිරීමේ නිත්‍ය සන්නද්ධ හමුදා පවත්වා ගෙන නො යනු ලබන අතර, මුළු ජනතාව ම සන්නද්ධ කරනු ඇත. රටේ සාමය හා සුරක්ෂිතභාවය පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ ස්වේච්ඡා සාම සේවයක් පවත්වා ගෙන යනු ඇත’යනුවෙන් සඳහන්ව තිබුණා.
“ජනතාව සන්නද්ධ කරලා ජනතාවගේ ස්වේච්ඡා සාම සේවයක්. කාරණය පැහැදිලියිනේ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අවි ගන්නලා සාම සේවයට ගන්නවා කියන එක තමයි ඔය ජනතාව, ජනතාව කියලා තියෙන්නේ. අනික් අය ප්‍රතිගාමී එතකොට මේ ජනතාව කියලා කියන්නේ ඒකයි. ඊළඟට ‘රාජ්‍යයට, සමාජවාදී, රාජ්‍ය ආරක්ෂක කමිටුවක් පිහිටවනු ලැබේ.’ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවට, ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය ආරක්ෂක කමිටුවක් එන බව තමයි, මේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙන්නේ. ඒ අනුව, ‘ජනතා අධිකරණ ක්‍රමයක් බිහි කරනු ලැබේ.’ ලාල් කාන්ත මහත්තයා නිකන් නෙමෙයි, කට කහනවට නෙමෙයි මේක කිව්වේ. මේ අනුව ගම්බද, නගරබද ප්‍රදේශබද දිසා බද ජනතා අධිකරණ ද, උත්තරීතර ජනතා අධිකරණයක් ද, පිහිටවනු ලැබේ. මේ බලාගන්න ඕනේ අපේ උසාවිය, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය පිළිබඳ. නිකං නෙවෙයි ලාල්කාන්ත මහත්තයා ගමට අධිකරණ බලය දෙනවා කිව්වේ. මෙන්න මේකයි ඒකෙ තියෙන සම්පූර්ණ ඇත්ත.”
ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
“ඒ නිසා අපි අහනවා නැවත වතාවක් ජනතා විමුක්ති පෙරමුණෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබ පිළිගන්නවාද නැද්ද? පිළිගන්නේ නැත්නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොවන ඔබේ ප්‍රතිපත්තිය කුමක් ද? එහි ඉන්න එක ම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ජාතික ජන බලවේගයේ විධායක සභාවේ බහුතරය හිමි ජනතා විමුක්ති පෙරමුණට. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියයි අපට අවශ්‍ය. ඒ පැරණි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔබ නැත්නම් අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය අපට ඉදිරිපත් කරන්න. මෙය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව විවෘතව, පැහැදිලිව, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, මැතිවරණයට පෙර ප්‍රකාශ කළ යුතු ම යි.
39 වගන්තිය ‘රාජ්‍යයේ ලෞකික ස්වභාවය සහතික කරනු ඇත.’ ඒ කියන්නේ ආගමට අපගේ ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් 10,11 වගන්තිවලින් දීපු තැන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන අතර, සම්බුද්ධ සාසනය පවත්වා ගෙන යාම රාජ්‍ය වගකීමක් කියන එක. සෙසු ආගම්, එනම් ක්‍රිස්තියානි, ඉස්ලාමීය, හින්දු ආගම් ඇදහීමේ අයිතිය, එහි සමානාත්මතාව පිළිගන්නා වගන්ති වෙනුවට රාජ්‍යය ලෞකික රාජ්‍යයක් බවට ප්‍රකාශ කරනු ඇත. ඒ වගේ ම ‘රාජ්‍යයේ හා රටේ දේශපාලන ජීවිතයේ කටයුතුවලට ආගමික ආයතනයන්ගේ මැදිහත් වීම තහනම් කරනු ඇත.’ භික්ෂූන් වහන්සේලාට ඒ අනුව රාජ්‍යයට අනුශාසනා දෙන්න විරෝධතා පවත්වන්න. කතෝලික පියතුමන්ලාට පෙළපාලි යන්න. ඉස්ලාමීය පිරිස් වලට විරෝධතා පවත්වන්න. මෙතනින් පස්සේ පූජ්‍ය පූජක දෙපක්ෂයටම තහනං ඊළඟට ‘විහාරගම් හා දේවාලගම් අපහරණය කර ඒවා මගින් කර ගෙන යන පූර්ව ධනේශ්වර සූරාකෑම අහෝසි කරනවා’ කියලා තියෙනවා. නිකන් නෙවෙයි කට කහනවට නෙවෙයි දළදා මාලිගාවේ අරමුදල් ගැන, දේවාලවල අරමුදල්. ඒවා දැනටත් බදු ගෙවනවා. ඒවා ගැන කතා කළේ කට කහනවට නෙවෙයි. ඒ වගේ ම අධ්‍යාපනය මුළුමනින් දැනට පාසල්වල උගන්වන බුද්ධාගම, හින්දු ආගම, දහම් පාසල, මද්‍රාසා අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය, හින්දු ආගමේ කරගෙන යන අධ්‍යාපනයන්, අධ්‍යාපනයෙන් ඉවත් කරනවා’ අධ්‍යාපනය ලෞකික විෂයයන්වලට පමණයි. මේක තමයි අද කොමියුනිස්ට් රටවල් වල තියෙන්නේ. මේක තමයි කියුබාවේ, කම්පුචියාවේ, ලාඕසයේ, වෙනිසියුලාවේ තියෙන්නේ. ඒක තමයි අනුර දිසානායක මහත්තයා, මේ ඔලු බක්කෙක් ගෙනල්ලා රටේ කරන්න යන්නේ.
අපි මේ රටේ වැදගත් ගුරු භවතුන්ගෙන්, වැදගත් භික්ෂූන් වහන්සේලාගෙන්, වැදගත් ආගමික නායකයින්, සියලු ම ආගමික ආයතන වලින් ඉල්ලා හිටිනවා ඔබගේ ආගමික නිදහස, ඔබගේ ආගමික අධ්‍යාපනයේ නිදහස, ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, ආර්ථික නිදහස විනාශ කර ගැනීමට ඉඩ දෙන්න එපා. හංගා ගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්, හංගා ගත් දේශපාලන පක්ෂයක්, දෙබිඩි ව්‍යාපාරයක්, ජාතික ජන බලවේගය කියන්නේ දෙබිඩ්ඩෙක්. අනුර කියන්නේ කෙළින්ම දෙබිඩ්ඩෙක්. එක අතකින් රතු අනුර දිසානායක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, අනිත් පැත්තෙන් රෝස අනුර දිසානායක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. ලංකා දේශපාලනයේ ලොකු ම දෙබිඩ්ඩා අනුර දිසානායක හා ඔහුගේ පක්ෂය. අපි ඔවුන්ට කියනවා කරුණාකරලා මේ රැවටීම නවත්වන්න. ජනතාවටත් අපි කියනවා මේ රැවැට්ටීමට තවත් ඉඩ දෙන්න එපා. ඔබගේ ආර්ථික නිදහස, ආගමික නිදහස සහ දේශපාලන නිදහස වෙනුවෙන් පෙනී ඉන්න.
ජාතික බලවේගෙත් නිකන් ඉඳලා නෑ පොතක් ගහලා තියෙනවා 20 වන සියවසේ. ඉතිහාසය ගැන පුනරුදයේ. කවුද ජාතික වීරයෝ? වීරයෝ ගැන කියන්න කලින් කියලා තියෙනවා. ‘වැඩවසම් ලක්ෂණ සහිත ආසියාතික රාජ්‍යය වෙනුවට’ මොකක්ද මේ? ගමයි, පැන්සලයි, වැවයි, දාගැබයි සඳහන් ඒ අපේ පැරණි සංස්කෘතික උරුමයත් එක්ක බැඳිච්ච, සාම්ප්‍රදායික ඒ ඉතිහාසය ඉවත් කරන්න. ඒකට කියන්නේ මොකක්ද? වැඩවසම්. අර යුරෝපයේ තිබිච්ච ඉඩම් හිමියා, රදලයා, එක්ක ගැට ගැහිච්ච ප්‍රවේණි දාසයක් මත පදනම් වෙච්ච වැඩවසම් ආර්ථික ක්‍රමයක්ලු ලංකාවේ තිබුණේ. කවුද මේ කියන්නේ? හරිනි අමරසූරියලගේ ජාතික ජනබලවේගය අතීතයට ගරහන හැටි. ඊළඟට අපි දන්න අපි දන්න මේ රටේ ජාතික වීරවරයෝ හිටියා. මේකේ දාලා තියෙනවා. ‘සැබෑ වීරයින් හා වීරවරියන් හඳුනා ගැනීම.’ අනගාරික ධර්මපාලතුමා මේ වීර චරිත අතර නැහැ. වලිසිංහ හරිශ්චන්ද්‍ර මේ වීර චරිත අතර නැහැ. මේ රටේ බෞද්ධ, හින්දු, ඉස්ලාමීය, යම් පුනර්ජීවන ව්‍යාපාරයක් කරලා දේශීය ආගම් ගොඩනගන්න වැඩ කළ කිසිම නායකයෙක් නෑ. ඒ අනුව මතක තියා ගන්න අනගාරික ධර්මපාල චරිතය, මිගෙට්ටුවත්තේ ගුණානන්ද චරිත, ඒවා 20 වෙනි සියවසට විතරක් අයිති චරිත නෙවෙයි. ඒවා සියල්ලම ඉතිහාසයෙන් මකා දමන ක්‍රියාවලියක ඉන්නවා. මෙහි ඇත්තටම අපිත් ගරු කරන චරිත ටිකක් නම් කරලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතීතයේ රටේ නිදහස වෙනුවෙන් කැප වෙච්ච මේ රට ගොඩනැගීම වෙනුවෙන් කැප වෙච්ච මේ රටේ දේශීය සංස්කෘතිය වෙනුවෙන් කැප වෙච්ච ඒ විශිෂ්ට පුද්ගලයින් බොහොමයක් ඉතිහාසයේ හොරු තක්කඩි, වංචනිකයින්ගේ ගොඩට දාලා තියෙනවා. ඉතිහාසය අලුතෙන් ලියන්න යනවා. හෙන්රි පේද්‍රිස් වැනි අය නැගී සිටලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව වෙඩි කෑවේ. එවන් වීරවරයින් කප්පාදු කරලා දාලා තමන්ගේ මාක්ස්වාදී අදහස් වලට ගැලපෙන හා ඊට කිට්ටුවෙන් යන වීරවරයින් පිරිසක් විතරක් මේකෙන් කුළු ගන්වලා තියෙනවා. වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩවසම් ප්‍රවේණි දාස ආර්ථිකයක් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ නිසා මේවා අමුතු දේවල් නෙමෙයි. කාල්මාර්ක් කිව්වෙත් ඕක තමයි. ආසියාතික වැඩවසම් සමාජයේ ආසියාතික සමාජය කියලා විජේවීර මහත්තයා කිව්වෙත් ඕකම තමයි. ඒක තමයි විහාර දේවාලගම් වලට ගහන්න ගියේ.
මේක නිකන් හොරු අල්ලන මැතිවරණයක් නෙවෙයි. හොරු අල්ලන්න අනුර කුමාරට ලොකු වරමක් රනිල් වික්‍රමසිංහ මහත්තයා දුන්නා. 2015 දී ඒ කාර්ය සාධන බලකායේ ප්‍රධානියා බවට පත් කළා. ඒ වගේ ම ආනන්ද විජේපාල අනුර නම් කරපු කෙනා තමයි එහි හිටපු කාර්ය ප්‍රධානියා. අපි කියනවා එහි වැඩ කරපු අපේ පොලිසියේ හිටපු වෛද්‍යාලංකාර ඇතුළු පිරිස්වලට දැන් ඇවිල්ලා කියන්න ඇයි ඕගොල්ලෝ හොරු ඇල්ලුවේ නැත්තේ? ඇයි මේ අනුර කුමාර දිසානායකගේ කාරණාවලට උත්තර දෙන්නේ නැත්තේ? ඇවිල්ලා කියන්න. ඕගොල්ලන්ටත් චෝදනා නැගිලා තියෙනවා. ඇවිල්ලා කියන්න කතාව කියලා අපි කියනවා. මේගොල්ලෝ මේ සමහර හොරකම් ගැන කතා කරන්නේ නැහැනේ. ඊ වීසා වංචාව ගැන කතාවක් නැහැ. ඊ පාස්පෝට් වංචාව ගැන කතාවක් නැහැ. ඇයි? ඒගොල්ලෝ ඉන්නෙත් හොරු එක්ක හෙළුවෙන්. ඒක නිසා ඒගොල්ලන්ට ඒවා ගැන කතා කරන්න බැහැ. ඒක නිසා මේ හොරු ඇල්ලිල්ලේ, බොරු කතා පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ ඒ බොරු කතා. ඕවා අපි 2000 ඉදන් ඇහුවා.
ඒ කතා වලට රැවටෙන්නේ නැතිව අපි අනාගතය කරා යන වැඩපිළිවෙළක්. ඩිජිටල්කරණය හරහා ඩිජිටල් හෙටක් හරහා, මේ රටේ හංගපු සල්ලි, හොරකම් කරපු සල්ලි ඩිජිටල් වේදිකාවකට අර ගෙන, බදු අය කර ගෙන ඉදිරියට යන රටක් පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා පෙළ ගැහෙන්න.”