මේ රට හපයක් බවට පත්කළ පැරැණි ගෝත්‍රිකවාදී අසාර්ථක රාජ්‍යයක් බවට පත් කරගත් පාලකයින්ගෙන් 21 වෙනිදා රට නිදහස් කර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු පැවැත්වුණු අවසන් දිනය වූ ඊයේ (18) දිනයේ රට අනුරට ජාතික ජන බලය වේගයේ කළුතර ජනරැළියේදීය.
එමෙන්ම රට තුළ උද්ගත වී ඇති පවතින අර්බුදය නිර්මාණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ඔහු කියා සිටියා.
“ගෝඨාභය රාජපක්ෂ මහතා මහතා එහි ප්‍රතිවිපාකවලට කරගැසූ අසරණයෙක් පමණයි” අනුර දිසානායක මහතා පැවසුවා.
ලබන 21 වැනිදා සිදු කරන්නේ හුදෙක් පාලකයෙක් ඉවත් කර තව කෙනෙක් පත් කර ගැනීම නොවෙයි. මේ සිද්ධ කරන්න යන්නේ සියවස් ගණනක් අප දුටු සිහිනයක් ඉටු කිරීමයි. මෙයට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කිරීමේ යුග පෙරළියයි මේ සිදු කරන්නේ. නිෂ්පාදනයට පණ දිය හැකි සියලුම තැන් හඳුනාගෙන යළි පණ දෙමින්, පුනරුද යුගයක් ඇති කරනවා. ඒ වෙනුවෙන් ගොවියා, ධීවරයා, කම්කරුවා, තරුණයා පමණක් නොවෙයි, රාජ්‍ය සේවකයන් වාගේම පොලිසියේ මහත්වරුන් ඇතුළු ආරක්‍ෂක අංශවල අයත් තම තමන්ගේ ක්‍ෂේත්‍රවල නව හැඟීමකින් ඉලක්කසහගතව ක්‍රියාත්මක කරනවා. අපි සිදු කරන්නේ පතුලටම ඇදවැටුණු රටක් ගොඩගැනීමයි. ඒ යන ගමනේ දී රනිල් වික්‍රමසිංහ කියනවා, ජාතික ජන බලවේගය ආවාම ගෑස් නැති වෙයි, තෙල් නැති වෙයි කියලා. ඔහු ඒ නිධිවල අයිතිකාරයාද? ඇත්ත කතාව ගත්තොත්, ඒ සියලු පෝලිම් නිර්මාණය කිරීමේ මූලිකයා රනිල් වික්‍රමසිංහයි. ගෝඨාභය අසරණයා බෙල්ල දුන්නා.
ඇත්ත කතාව ඒක. 2022 අප්‍රේල් මාසයේ ණය ගෙවන්න බැරිව පොල්ල තිබ්බේ රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගත් ණය ගෙවාගත නොහැකි වීම නිසයි. විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ගන්න සල්ලි නැතිව ගියා. අර්බුදයේ නිර්මාපකයා රනිල් වික්‍රමසිංහයි. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩවත්, ගුණාත්මකවත්, හිඟයකින් තොරව ලබා දීමටත් තමයි, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්නේ. ඩොලර් හිඟයක් රටට නිර්මාණය කළ රනිල් වික්‍රමසිංහ අද කියනවා, අපි ආවාම ඩොලරය රුපියල් 400ට නඟිනවා කියලා. නමුත්, ඒ තත්වය ඇති කළේ රනිල් වික්‍රමසිංහලා. හේන්, කුඹුරු පුරන් වුණා. රනිල් වික්‍රමසිංහලා අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය කංකුන්, ලුණු, මුංඇට, උඳු, කව්පි, කුරක්කන්, බිත්තර, බීජ වර්ග, ඖෂධ වර්ග හැම දේම පිටරටින් ගෙන ඒමයි. සියලු නිෂ්පාදන බිඳවට්ටා, කාන්තාවන් රට යැවීම එකම විදේශ විනිමය මාර්ගය බවට පත් කර ගත්තා. කාන්තාවන් රට යැවීම ඩොලර් උල්පත බවට පත් කර ගත්තා. ඩොලර් හිඟ වෙන කොට තිබෙන ඒවා විකුණාගෙන, ඩොලර් ණයට ගත්තා. ආර්ථිකය කඩාවැටුණේ එහෙමයි.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ තත්වය අනෙක් පැත්ත හරවා ඩොලර් එළියට යන එක වළක්වා ඩොලර් ගලාගෙන ඒම වර්ධනය කර ගන්න ක්‍රියාමාර්ග ගන්නවා. 1977 පාර්ලිමේන්තුවට ඇවිත්, මේ රට හපයක් බවට පත් කර මේ දක්වා විවිධ ධුර දරමින්, ඔහු තවමත් රැඳී ඉන්නවා. මහින්ද රාජපක්‍ෂලා පාර්ලිමේන්තුවට ඇවිත්, අවුරුදු පණහකටත් වැඩියි. මේ රට හපයක් බවට පත් කරලා, පැරැණි ගෝත්‍රිකවාදී, අසාර්ථක රාජ්‍යයක් බවට පත් කර ගත් පාලකයන්ගෙන් මේ රට 21 වැනිදා නිදහස් කර ගන්නවා. ගෝඨාභය අසරණයා මේ රට අනාථ කර දැම්මා. ලැජ්ජාශීලීත්වයට පත් වුණේ 69 ලක්‍ෂයක් ජනතාවයි. 2015 රනිල් – මෛත්‍රී හයිබි්‍රඩ් ආණ්ඩුවක් හදන්න ජනතාව ලක්‍ෂ ගණනින් ඡන්දය ලබා දී අසරණභාවයට පත් වුණා. මේ සියලු තත්වයන් වෙනස් කරන්න 2024 සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය ලබා දුන් බව දශක ගණනාවකට පස්සේ වුවත්, ආඩම්බරයෙන් කිව හැකි තත්වයකට මේ රට පරිවර්තනය කරනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය දශමයකින්වත් කඩ වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. සියවස් ගණනක් මඟහැරුණු ජයග්‍රහණය ලබා ගන්න අත්නොහැර එක් වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.