මා ඉන්ද්‍රජාලිකයල්කු හෝ මැජික් කරුවෙකු නොවේ..සාමාන්‍ය පුරවැසියෙක්..ජනපති ජාතිය අමතා කියයි

සිය ධුර කාලය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිම සඳහා උපරිම කැප වෙන අතරම තමා වෙනුවෙන් ඡන්දය භාවිත කළ මෙන්ම නොකළ අයගේ විශ්වාසය තහවුරු කිරීමට කැපවන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අද(23) උදෑසන දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් සඳහන් කළා.

“මා ඉන්ද්‍රජාලිකයෙකු හෝ මැජික්කරුවෙකු නොවෙයි. මා මේ රටේ ඉපදුණු සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනවා. නොහැකියාවන් තිබෙනවා. දන්න දේවල් තිබෙනවා. නොදන්න දේවල් තිබෙනවා. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන, දන්න දේ එක්රැස්කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන ක්‍රියාකිරීමයි.” ජනපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියා.

ලෝකයේ කවර බල බෙදීමක දි වුවද රටට වාසිදායක ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ලෝකය සමඟ සාමුහිකව ඒකාබද්ධව ඉදිරියට යාමට නොපැකිළෙන බව ඔහු මෙහිදී වැදිදුරටත් පැවසුවා.

මෙරට 9 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් පසුව කොළඹ, ගාලුමුවදොර ඉදිරිපිට ජනාධිපති කාර්යාලයේ දී ජාතිය අමතා සිදුකළ සම්පූර්ණ කතාව;

“අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය ජනතාව විසින් තම පාලනය සඳහා පාලකයෙක් තෝරා පත්කර ගැනීමයි. නමුත් මැතිවරණයකට ඡන්දය ප්‍රකාශ කිරීම හා පාලකයෙක් තෝරා පත්කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වුවත් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යුහයන්ගේ ශක්තිමත්භාවය වගේම නීතිමය ශක්තිමත්භාවයක් අවශ්‍යයි. ඒ නිසා මා ප්‍රථම කොටම අපේ රටේ ජනතාව දැනුවත් කරන්න කැමතියි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාගේ උපරිම කැපවීම මාගේ ධුර කාලය තුළ තහවුරු කරන්න සූදානම්. ඒ වගේම අපේ රටේ මැතිවරණයකින් බලය හුවමාරු කිරීමේදී ප්‍රජාතාන්ත්‍රික ලෙස සිදුවුණු ඉතිහාසයක් තිබෙනවා, කිසිදු විටෙක මැතිවරණයකදී සිදුවූ බල හුවමාරුවක්, කිසිදු නායකයෙක් ප්‍රතික්ෂේප කොට නැහැ. ඒ අනුව යමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ජන වරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, එතුමාගේ ආදර්ශය ලබාදීමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

අපට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක් බව අපි ඉතා ගැඹුරින් තේරුම් ගෙන සිටිනවා. අපේ රටේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. ජනතාව විශාල ලෙස අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය තිබෙනවා. අප ඒ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. අපේ රටේ දේශපාලකයාත්, දේශපාලනයත් පිළිබඳව පොදු පුරවැසියන්ගේ තිබෙන්නේ අයහපත් අදහසක්. දේශපාලනය සුදුසු නැති දෙයක් වගේ අදහසක් තිබෙනවා. ඒ නිසා අපේ උපරිම කැපවීමෙන් නැවත දේශපාලනය කෙරෙහිත් දේශපාලකයා කෙරෙහිත් මහජනයාගේ ගෞරවය, මහජනයාගේ විශ්වාසය, තහවුරු කිරීමට අපගේ පාර්ශ්වයෙන් කළ හැකි සියල්ල සිදුකරනවා. ඒ වගේම අප හමුවේ තිබෙන ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට, හුදු දේශපාලන පක්ෂයකට හුදු පුද්ගලයෙකුට පමණක් පියමං කළ හැකි දෙයක් බව අපි විශ්වාස කරන්නේ නැහැ. මෙයට පෙරත් මම ප්‍රකාශ කර ඇති පරිදි මා ඉන්ද්‍රජාලිකයෙකු හෝ මැජික්කරුවෙකු නොවෙයි. මා මේ රටේ ඉපදුණු සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තිබෙනවා. නොහැකියාවන් තිබෙනවා. දන්න දේවල් තිබෙනවා. නොදන්න දේවල් තිබෙනවා. හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන, දන්න දේ එක්රැස්කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ අරගෙන ක්‍රියාකිරීමයි.

ඒ නිසා ඒ සාමූහික මැදිහත් වීමේ පංගුකරුවෙකු ලෙස පත්වීම මගේ වගකීමයි. ඒ වෙනුවෙන් සාමූහිකව මැදිහත් වීමේ කොටස්කරුවෙකු හැටියට මා පත්වෙනවා. මේ අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියන්ටත්, සියලු ක්ෂේත්‍රවල අයටත් විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් මා හැමදෙනාගේම සහයෝගය අපේක්ෂා කරනවා. නමුත් රටේ ජනාධිපතිවරයා ලෙස මේ කාර්යය මෙහෙයවීමේ ප්‍රමුඛතම හා ප්‍රධානතම වගකීමත් මා වෙත තිබෙන බව තේරුම් ගෙන තිබෙනවා. ඒ නිසා ක්‍රියාවෙන්ම හැම අවස්ථාවකදීම මේ අභියෝගය පියමං කිරීම සඳහා මා වෙත පැවරී තිබෙන වැඩකොටස මා නිසි පරිදි ඉටුකරන බව මේ මේ රටේ පුරවැසියන්ට, සමාජයට ඒත්තු ගන්වන්න මම සූදානම්.

ඒ වගේම අපේ රටට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. ලෝකයේ කවර බල බෙදීමකදී වුවත් අපට වඩාත් වාසි සහගත ලෙස අපි අපේ විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යනවා. අපට අවශ්‍ය ලෝකයේ හුදකලා රාජ්‍යයක් නොවෙයි. ලෝකයත් සමග සාමූහිකව, ඒකාබද්ධව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න අපි කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. අපේ රට ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඔවුන් වඩා ශක්තිමත්ව අපේ රට ගොඩනැගීම සඳහා රජයේ ක්‍රියාවලියට සහයෝගය දේවි, උදව් කරාවි කියා බලාපොරොත්තු වෙනවා.

අවසන් වශයෙන් මම කියන්නේ, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළින් මාව ජනාධිපති ලෙස තෝරා පත්කරගෙන සිටිනවා. ඒ තෝරා පත්කර ගැනීම සඳහා ජනතාව මා වෙත ඡන්දය ලබාදී තිබෙනවා. මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්යභාරය, අපට ඡන්දය නොදුන්, අපව විශ්වාස නොකරන අයගේ සහයෝගය ලබා ගැනීම සහ විශ්වාසය දිනා ගැනීම සාර්ථකව සිදුකළ හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා. ඉදිරියේදී මේ සියල්ල ප්‍රායෝගිකවත් අත්විඳින්න හැකිවේවි. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා”
……………………………

__tpx__

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!