ලයිකා මොබයිල් (LYCA Mobile) හිමිකරු අලිරාජා සුභාෂ්කරන් ඉදිරි මහ මැතිවරණයට පෙර උතුරේ සහ නැගෙනහිරින් බෙදී ඇති දෙමළ දේශපාලන පක්ෂ එකතු කර දැවැන්ත දෙමළ දේශපාලන පක්ෂයක් පිහිටුවීමට උත්සාහ කරමින් දේශපාලනයට අවතීර්ණ වීමට සූදානම් වන බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායක සිවඥානම් ශ්‍රීදරන් ඊයේ (1) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඇති අතර පසුගිය සෙනසුරාදා ඔහු සහ සුභාෂ්කරන් අතර ද හමුවක් සිදුව තිබුණා. ඒ අනුව සුභාෂ්කරන් ගොඩනඟන දැවැන්ත සන්ධානය සහ ජාතික ජන බලවේගය මහ මැතිවරණයේ දී එක්ව සන්ධානගත වීමේ පෙරනිමිත්තක් ලෙස එම හමුව හැඳින්විය හැකිය.
මේ අතර ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ (1) දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් හමුවුණා. ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් සියලුම දෙමළ දේශපාලන පක්ෂවලට මෙම හමුව සඳහා ආරාධනා කර තිබුණා. ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA), තමිල් මක්කල් කූටනි (TMK) සහ දෙමළ ජාතික මක්කල් කූටනි (TNMK) යන පක්ෂ මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා.
මෙම රැස්වීමේදී නව රජය සම්බන්ධ ගැටළු, දෙමළ ගැටළු සහ ආර්ථික අභියෝග පිළිබඳ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළ බව වාර්තා වෙනවා. මෙම හමුව සිදුවූයේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට දින කිහිපයක් ඉතිරිව තිබියදීය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඔක්තෝබර් 04 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වන්නේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමටය.
“අපි කන්කසන්තුරේ වරාය, පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය සහ අනෙකුත් කරුණු පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළා.ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කිරීමට අවධාරණය කර ඇති 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය අපි පැහැදිලි කළා.”මහ කොමසාරිස්වරයා සමඟ සිදු වූ සාකච්ඡා ගැන සඳහන් කරමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සඳහන් කර තිබෙනවා.
අලිරාජා සුභාෂ්කරන් මූලිකත්වයෙන් යුත් මෙම සන්ධානය ආරියනේත්‍රන්ගේ පක්ෂයට සම්බන්ධ ‘හක්ගෙඩිය’ ලකුණ හෝ ආනන්දසංගරීට අයත් තමිලර් විදුතලෙයි කූටනි (TVK) ලකුණ යටතේ ගොඩනැගීමට නියමිත බව සඳහන්. නව පක්ෂයට නායකත්වය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් අපේක්ෂා කරන බවටද මත පළ වෙමින් පවතී.
ආයතනික සමාගම් ගණනාවක් ස්ථාපිත කර ඇති සහ දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තයට දැඩි ලෙස සම්බන්ධ වී සිටින අලිරාජා මැතිවරණ කොමිසමෙන් ලකුණක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ද මේ අතර වාර්තා වෙනවා. සිය ප්‍රජාව නොසලකා හරින ලද දෙමළ දේශපාලනඥයන් පිළිබඳ කලකිරීම නිසා උතුරේ තරුණයින් ජාතික ජන බලවේගය (NPP) පිටුපස පෙළ ගැසෙමින් සිටින අතර අලිරාජාගේ නව සන්ධානය ජාතික ජන බලවේගය සමඟ සන්ධානගත වීම විශාල ආකර්ශනයකට හේතු විය හැකි බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
මීට අමතරව හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සහ EPRLF නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ද නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් සමඟ අලිරාජා සුභාෂ්කරන් හමුවූ බවයි වාර්තා වන්නේ.
TMK නායක විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ දිනුවත් පැරදුනත් තම පක්‍ෂයේ ප්‍රතිපත්තියේ රැඳී සිටින බවත් ස්වාධීනව තරග කරන බවත්ය. මේ අතර, ITAK තවමත් තීරණයකට එළැඹී නොමැති වුව ද කොළඹට තරඟ කරනවාද නැතහොත් උතුරු සහ නැගෙනහිර පළාත් කෙරෙහි පමණක් අවධානය යොමු කරනවාද යන්න පිළිබඳව ලබන සෙනසුරාදා තීරණයක් ගනු ඇති බව පැවසෙනවා.
පසුගිය මැතිවරණ වලදී ආසන රැසක් ලබාගෙන ඇති ITAK ඉදිරි මහ මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් ඒවා රඳවා ගැනීම අරමුණු කර ගෙන ඇති අතර, ජනාධිපතිවරණයේදී පක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියා කළ සාමාජිකයින් පිළිබඳව සොයා බැලීමට සහ තවත් තරුණ සාමාජිකයින් පිළිගැනීමට තීරණය කර තිබෙනවා.
මහ මැතිවරණය සඳහා නාමයෝජනා ඔක්තෝබර් 4 සිට ඔක්තෝබර් 14 දක්වා මැතිවරණ කොමිෂන් සභාවට භාර දීමට නියමිතය.
