කුෂ්බූ සුන්දර් (Khushboo Sundar) කියන්නේ 80-90 දශකයේ දකුණු ඉන්දියානු චිත්‍රපටවලින් සිනමාවට පිවිසුණු නිළියකි.
එම වකවානුවේ ඇය තරම් මාධ්‍යවල සිරස්තල මැවූ නිළියක් තවත් නැති තරම්ය. ඇයගේ නම ඉදිරියේ විවිධ කටකතා ලියැවුණු අතර විවාහය, විවාහයට පෙර එකට ජීවත් වීම පිළිබඳව ඇය කළ ඇතැම් ප්‍රකාශ ආන්දෝලනාත්මක විය. මුම්බායිවලින් කොලිවුඩයට පැමිණ ඇය තරම් ස්ථාවර වුණු වෙනත් නිළියක් නොවුණු තරම්ය. මනීෂා කොයිරාල, තාබු, උර්මිලා මතෝද්කාර්, ශිල්පා ෂෙට්ටි, රවීනා තන්ඩන්, මධුරි ඩික්සිත් හෝ පූජා භාත් වැනි නිළියන් කොලිවුඩ්වලට පැමිණියත් ඔවුන්ට එහි රැඳී සිටීමේ හැකියාව උදාවුණේ නැහැ. ඇය රංගනයට පිවිසුණේ 1980 වසරේ තිරගත වූ The Burning Train චිත්‍රපටයෙන් ළමා නිළියක ලෙසයි.
ඇය කෙතරම් රසික සම්භාවනාවට පත් වූ නිළියක්ද කිවහොත් ඇගේ රසිකයන් ඇය වෙනුවෙන් පන්සලක් ඉදි කර ඇති අතර ඇයගේ නමින් “ඉඩ්ලි” වර්ගයක් පවා නම් කරනු ලැබුවා. තරමක් පිම්බෙන ඉඩ්ලි හඳුන්වන්නේ KUSBOO IDLI ලෙසයි.
දේශපාලනයට පිවිසීම නිසා තරමක් රංගනයෙන් ඈත් වුවත් මෑතකදී ඇය නැවත අනිල් ෂර්මාගේ Vanvaas හි නානා පටේකාර්ගේ බිරිඳගේ චරිතය නිරූපනය කිරීමෙන් ප්‍රේක්ෂයකයින් අතර කතාබහට ලක් වුණා. රංගනයෙන් මෙන්ම දේශපාලන භාවිතාවෙන්ද මිනිසුන්ගේ ප්‍රසාදය දිනාගත් ඇය ඇගේ පෞද්ගලික ජීවිතය ගැන මිනිසුන්ගේ කතාබහට ලක් වූ කම්පන සහගත හෙළිදරව් කිරීම් කිහිපයක් කරනු ලැබූ නිළියක් ලෙස ද සැලකෙනවා. ඒ සමහර ඒවා ඇගේ ළමා කාලයට සම්බන්ධ කම්පන සහගත අත්දැකීම්ය. 2023 වසරේ දී ඇය සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව වූයේ ඇය 8 වැනි වියේ පසුවනවිට ඇගේ පියාගේ අතවරයට ලක් වූ ආකාරයයි.
මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයේ නිළියන් කිහිප දෙනෙකු ක්ෂේත්‍රයේ අඳුරු පැතිකඩ සහ පුරුෂ පාර්ශවයෙන් එල්ල වෙන ලිංගික පීඩනය පිළිබඳ හෙළිදරව් කරනු ලැබූ #Me Too ව්‍යාපාරය හමුවේ කුෂ්බු ද ඇගේ නිහඬතාවය බිඳ දමමින් ඇයට පියාගෙන් සිදු වූ අතවර සහ වයස අවුරුදු 15 දී ඊට එරෙහි වීම නිසා පියා නිවසින් පිටවීම පිළිබඳ හෙළි දරව් කර සිටියා.
ඇය එම අතවර දිගු කාලයක් සඟවාගෙන සිටියේ මවටත් සහෝදරයින්ටත් ඔහු විසින් සිදුකළ පහරදීම් තවදුරටත් වැඩිවේ යන බියෙන් බවයි ඇය සඳහන් කළේ.
ඇය මෑතකදී සම්මුඛ සාකච්ඡාවක දී ඇයටත් මව ඇතුළු අනෙකුත් සහෝදරයන්ට පියාගෙන් සිදු වූ බලපෑම් විස්තර කළේ මෙසේය. “ඔහු මට ලිංගික අතවර කළා, ඔහු මගේ සහෝදරයන්ට ශාරීරිකව හිංසා කළා. මගේ සහෝදරයන්ට සහ මගේ මවට ශාරීරිකව අතිශයින් හිංසාකාරී ලෙස වද දුන්නා” පියා විසින් ඔවුන්ට බෙල්ට්, බකල්, සපත්තුවලින් පහර දුන් බව ඇය කියා සිටියා.
“ඔහු මගේ මවට පහර දුන්නා. ඒ සියල්ල අපි දැක්කා. ඔහු මගේ මවට බිත්තියට හේත්තු කර පහර දුන්නා. ඔහු කළ දේ ගැන යමෙකුට පැවසීමට ගියහොත්, ඔහු මගේ මවට සහ සහෝදරයන්ට තවත් අපයෝජනය කරයි, තවත් ඔවුන්ට පහර දෙනු ඇතැයි යන බිය මා තුළ තිබුණා. ඉතින් එයා මගේ සහෝදරයින්ටයි අම්මටයි පහර දෙන හැටි දැකීම නිසා මට විශාල බරක් හදවතේ දරාගෙන ඉන්න සිදු වුණා. මම ඇත්තටම හොඳටම බය වුණා.”
කෙසේ වෙතත්, කුෂ්බූගේ ජීවිතය යහපත් අතට හැරුනේ ඇය චෙන්නායි වෙත ගොස් දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ වැඩ කිරීමට පටන් ගැනීමත් සමඟය. එහිදී තමාට සිදු වූ අතවර ගැන කතා කිරීමට ඇයට විශ්වාසයක් ඇති වූ බවයි ඇය පවසා ඇත්තේ. “චෙන්නයි නුවරට ගියාට පස්සේ මට කතා කරන්න විශ්වාසයක් ඇති වුණා. මම මුලින්ම මේ ගැන කතා කළේ මට වයස අවුරුදු 14 දී”
ඒ සඳහා ඇයව දිරිමත් කළේ Janu චිත්‍රපටයේ ඇගේ කොණ්ඩා මොස්තර ශිල්පිනිය වූ උබින් (Ubin)ය. ඇය විවාහක දරුවන් සතර දෙනෙකුගේ තනිකඩ මවක් වූ අතර කුෂ්බූගේ පියා ඇයව අනිසි ලෙස හසුරුවන බවට උබින්ට සැකයක් මතුව තිබුණා. පසුව ඇය ඒ බව කුෂ්බුගෙන් විමසා සිටි බවත් ඇයට කුෂ්බුගේ මව හමුවීමට අවශ්‍ය බව පැවසු බවත් කුෂ්බූ පවසනවා. උබින් කුෂ්බූව දිරිමත් කළ ද තවදුරටත් එය පවුලෙන් සැඟවීමට කටයුතු කළ කුෂ්බූ මේ පිළිබඳ ඇගේ මව සහ සහෝදරයන්ට පැවසුවේ තවත් වසර දෙකක් ගත වීමෙන් පසු ඇය මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වය අත්පත් කරගත් විටය.
අපයෝජනය ගැන කතා කිරීමට කුෂ්බූ ගත් තීරණය දරුණු ප්‍රතිවිපාක ඇති කළා. තම දියණිය වැඩිවියට පත් වී තවදුරටත් තමාගේ පාලනයට නතු නොවන බව පිළිගත නොහැකි වූ ඇගේ පියා මෙම තත්වයෙන් පසු ඇය කෙරෙහි තවත් දරුණු වූ බවයි පැවසෙන්නේ. “ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ මට ශාරීරිකව හිරිහැර කිරීමයි. ඔහු රූගත කරන ස්ථානයේදීම මට පහර දුන්නා. මම ඔහුගේ උපදෙස් පිළිපැද්දේ නැති නිසා ඔහු මට මඩ ගැහුවා ”
එහෙත් පියාගේ අපයෝජනයට එරෙහිව ඇය වෙනුවෙන් පෙනී සිටි ඇගේ සගයන්ගෙන් කුෂ්බූට විශාල සහයෝගයක් ලැබුණු බව ඇය පවසා තියෙනවා. කෙසේ වෙතත් ඇගේ පියා ඇගේ භාරකරු වීම සහ ඇය එවකට බාල වයස්කරුවෙකු වීම නිසා ඇයට උපකාර පැතීම ඉතා දුෂ්කර වුණු බව ද ඇය කියා සිටියා.