ජාවාරම්කරුවන්ගේ අභිලාෂයන්ට ඖෂධ ක්ෂේත්‍රය යටත් කරගන්න ඉඩ තියන්නේ නැහැ..

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා කොළඹ – 02 පිහිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හදිසි නිරීක්ෂණයකට එක් වුණා.

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්මත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය පෙනී සිටින බවත්, ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කටයුතු නොකරන බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සඳහන් කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රට තුළ පවතින ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්‍රමිතීන් සහතික කිරීම මගින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, ඖෂධ, සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන සහ රූපලාවන්‍ය ද්‍රව්‍යවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා නියාමනය, අධීක්ෂණය සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ලබාදීම ද සිදු කරනු ලබන ආයතනයකි.

මෙහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා ඇතුලු නිලධාරින් සමග අධිකාරියේ වත්මන් ක්‍රියාකාරීත්වය, පාලන ක්ෂේත්‍රය, කාර්ය මණ්ඩල ගැටළු, ඖෂධ මිල නියාමනය, ඖෂධ ලියාපදිංචිය, නව අයදුම්පත් කැඳවීම වැනි ක්ෂේත්‍ර පිළිබදව අමාත්‍යවරයා දීර්ඝ ලෙස සාකච්ඡාවක නිරත වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මහාචාර්ය සේනක බිබිලේ මහතා මෙරටට ඖෂධ ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කැපවෙමින් ඖෂධ සමාගම් සමග සටන් කළ බව ද, අවසානයේ එනිසාම ඝාතනයට ලක් වූ පුද්ගලයෙක් වූ බව ද ප්‍රකාශ කර සිටියා. අද වන විට ඝාතනයන් සිදු නොවූවද වෙනත් සූක්ෂම ක්‍රියා මගින් සිය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සදහා‍ ජාවාරම්කරුවන් කටයුතු කරන බැවින් රජය ගෙනයනු ලබන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පිරිස් පිළිබද මනා අවබෝධයෙන්, කටයුතු කළ යුතු බවයි වැඩි දුරටත් සඳහන් කළේ. එමෙන්ම බොහෝ විට මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ තොරතරු මාධ්‍ය මගින් වාර්තා කරනු ලබන්නේ අහිංසක ප්‍රාර්ථනාවන්ගෙන් නොව ජාවාරම්වල දිගුවක් ලෙස විය හැකි බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ගුණාත්මකභාවය, තත්ත්වය, මිල ඇතුලු ඖෂධ සම්බන්ධ සියළු කටයුතු වල දී ගැටළු මතු වුවහොත් කණ්ඩායමක් ලෙස සියළු දෙනා ඊට වගකිව යුතු බව පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, වගකීමකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබුවා.

අමාත්‍යරයා මෙම සාකච්ඡාවේ දී දැඩිව අවධාරණය කරනු ලැබුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව චර්යාධර්ම පද්ධතියක් වන බවත්, ඊට අනුගත වෙමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යයේ ගුණාත්මකභාවය සහ තීරණ ගැනීමේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අඛණ්ඩතාව, අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම, සහතික කිරීම කළ යුතු බවයි.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!