පසුගිය දිනක රොහින්ග්‍යාවරුන් 100කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ ඉදිරි දිනවලදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලක්ෂයක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ සැලසුමක් ඇති බවට බුද්ධි අංශ අනාවරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එය බරපතල සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි රොහින්ග්‍යා ජාතිකයින් පිරිස මිනිස් ජාවාරම්කරුවන්ට සිය මුදල්වලින් මිලියන 5ක් ගෙවා ඇති බවත් මිලියන 8ක් එම ගමන සඳහා වියදම් කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වුණා. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණයක් සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා එම පිරිස සරණාගතයන් ලෙස සැලකුවහොත් ජාත්‍යන්තර නීති මගින් ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවයි සඳහන් කළේ.
හකීම් මන්ත්‍රීවරයා කියා සිටියේ සරණාගතයින් පිරිස මියන්මාරයට පිටුවහල් නොකළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහාය ඇතිව ඔවුන් වෙනත් රටකට පිටුවහල් කිරීමට කටයුතු කළ යුතු බවත්ය.
මෙම පිරිස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් රජය සාකච්ඡා කර නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය මියන්මාර රජය සමඟ මූලික සාකච්ඡාවක් පමණක් පවත්වා ඇති බව අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් පවසා සිටියා.