දිවංගත විජය කුමාරතුංග කලාකරුවා සිහිපත් කරමින් ඉදි කරනු ලැබූ විජය කුමාරතුංග අනුස්මරණ රෝහල මඟින් ලබා දෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව පසුගියදා රොහල් පාලනාධිකාරිය සමග එම රෝහල් පරිශ්‍රයේ පැවැත් වූ සාකච්ඡාවක් අතරතුරදීය
රෝහල මගින් අඩු ආදායම්ලාභීන්ට සහ අනුමත සුදුසුකම් සපුරා ඇති සහ වකුගඩු රෝගීන්ට අක්ෂි කාචයේ සිට දැනට සපයන ප්‍රතිකාර සේවා නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් වඩා ක්‍රමවත් ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් පිළිබද ව මෙහි දී අමාත්‍යවරයා සිය අදහස් ඉදිරිපත් කරනු ලැබුවා.
අක්ෂිකාච ලබාගැනීමේ වැඩපිළිවෙළ, රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම හා නඩත්තුව, භාණ්ඩාගාරය සමග සම්බන්ධ ව රෝහලට ලැබෙන පරිත්‍යාග බදුවලින් නිදහස් කර ගැනීම යන රෝහල් කළමනාකාරීත්වයේ ඉල්ලීම් ඉටුකරදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
මෙම රෝහලේ දැනට අක්‍රීය වී පවතින උපකරණ යථා තත්ත්වයට පත්කර රෝහල මගින් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවා වැඩිදියුණූ කරගැනිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබාදෙන බව මෙහිදී සදහන් කළ අතර විජය කුමාරතුංග රෝහල මගින් සිදු කරන අක්ෂි සම්බන්ධ රෝග ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සේවාවන් අමාත්‍යවරයාගේ ඇගයීමට හේතු විය.
මෙහි දී කෙටිකාලීන සංවර්ධන යෝජනා සහ අදහස් පිළිබඳව ද අවධානය යොමු කළ අමාත්‍යවරයා රෝහල මගින් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් තවදුරටත් පුළුල් කර ශක්තිමත් කිරීම සදහා අමාත්‍යාංශ මට්ටමේ පුළුල් සැලැස්මක් සකස් කරන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා.