කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල පසු ගිය දා භීතියෙන් ඇවිල ගියේ “BATMAN” නිසාය.
ඒ ඇමරිකානු ලේකඛයන් දෙදෙනෙකු වන බොබ් කේන් (Bob Kane) හා බිල් ෆින්ගර් (Bill Finger) නිර්මාණය කරනු ලැබූ පසුව හොලිවුඩ් චිත්‍රපටවලින් ලෝකයම ආක්‍රමණය කළ සුපිරි වීරයා වන BATMAN නොව වෙනත් පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලවලට ඇතුළු වී වටිනා ඉලෙක්ට්‍රොනික උපකරණ සොරකම් කරගෙන යන පල් හොරෙකි.
ඔහු මෙම සොරකම් මාලාව සිදු කරගෙන ගොස් ඇත්තේ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවල සිදු කෙරෙන පිළිවෙලටයි. එනම් සොරකම අවසානයේ බිත්තියක යම් ලකුණක් ඉතිරි කර යන ක්‍රමය අනුගමනය කරමිනි. ඔහු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාල බිත්තිවල තැබූ ඔහුගේ අනන්‍යතා ලකුණ වූයේ “BATMAN” යන්නයි.
පොලිස් වාර්තා සඳහන් කරන ආකාරයට බිත්තිවල මෙසේ “BATMAN” යන වචනය කුරුටු ගාමින් සොරකම් මාලාවක් සිදු කළ බව කියන 23 හැවිරිදි එරිත්‍රියානු සම්භවයක් ඇති සුඩාන ජාතිකයා මේ වන විට අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පොලිසිය පවසන්නේ සැකකරු මෙම වික්‍රමාන්විත ක්‍රියාදාමය තුළ රුපියල් කෝටියකට ආසන්න ඉලෙක්ට්‍රොනික උපකරණ සොරකම් කර ඇති බවයි.
එම උපකරණ ඉතා අඩු මුදලකට අලෙවි කරමින් ලබා ගත් රුපියල් මිලියන 3ක මුදල් කැසිනෝවලට යෙදවූ බව ඔහු පවසා තිබෙනවා. WTC හි නැගෙනහිර කුළුණේ 26 වන මහලේ පිහිටි කාර්යාල හතරක් ඉලක්ක කර ගනිමින් ජනවාරි 17 වන දින අලුයම මෙම සොරකම් සිදුව තිබුණා.
මෙම පුද්ගලයා ගොඩනැගිල්ලේ සැලසුම සහ ආරක්ෂක පද්ධති පිළිබඳව හොඳින් දැන සිටි පුද්ගලයකු බව විශ්වාස කළ විමර්ශකයින් ඒ ඔස්සේ සිදු කළ පරික්ෂණවලින් පසු WTC හි පෙර සේවය කර ඉවත්ව ගොස් ඇති සේවකයින් සමීපව නිරීක්ෂණය කර තිබෙනවා. එම අවස්ථාවේ “BATMAN” පෝස්ට් වැඩි වශයෙන් බෙදා ගෙන තිබූ සමාජ මාධ්‍ය ගිණුමක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව සැකකරු පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ බවයි පොලිසිය පවසන්නේ.
පසුව කොළඹ කැසිනෝ ශාලාවක් අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සොරකම් කළ භාණ්ඩ කිහිපයක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා. ප්‍රශ්න කිරීමේදී ඔහු තම සූදු ක්‍රියාකාරකම් සඳහා මුදල් සහනදායි මිලට අලෙවි කළ බවයි සැකකරු විසින් හෙළි කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.