2025 ඔස්කාර් සම්මාන උළෙලේදී ඩෙමී මෝර් (Demi Moore) අභිබවා නැගී එන තරුවක් වන මයිකි මැඩිසන් (Mikey Madison) වෙත හොඳම නිළිය සම්මානය හිමිවීම පිළිබඳ සමාජ මාධ්‍යවල දැඩි ප්‍රතිචාර එල්ල කර තිබෙනවා.
රසිකයන් ඔස්කාර විනිශ්චය මණ්ඩලයේ මෙම තීරණය පිළිබඳ ඔවුන්ගේ කලකිරීම සහ අවිශ්වාසය ප්‍රකාශ කර ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පවසා ඇත්තේ හොඳම නිළිය සම්මානය “සොරාගෙන” ඇති බවයි. එය හොලිවුඩයේ වයස සහ පිළිගැනීම නව ප්‍රවණතා පිළිබඳ කතිකාවකට ද හේතු වී තිබෙනවා.
2025 වසර සඳහා ඔස්කාර් සම්මාන උළෙල ඉරිදා ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී පැවැත්වුණා. සම්මාන උළෙල අවසන් වුණේ රසිකයන්ගේ පූර්ව තීරණ හා විනිශ්චයන් රාශියක් කුඩු පට්ටම් කරමින් වන අතර සම්මාන හිමි වුණේ බලාපොරොත්තු නොතිබූ චිත්‍රපටවලට හා නළු නිළියන් වෙත වීම නිසා මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රිය උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණා.
හොඳම නිළිය සම්මානය ද රසිකයන් කෝපයට පත් කළ එක් තීරණයක් වුණා. බොහෝ දෙනෙක් හොඳම නිළිය The Substance චිත්‍රපටයේ ඇගේ බලගතු භූමිකාව වෙනුවෙන් ඩෙමී මෝර් වෙත ලැබිය යුතු බව විශ්වාස කළ අතර ඇය හොඳම නිළිය ඛාණ්ඩයේ ප්‍රමුඛයා ලෙසයි සැලකුණේ. නමුත් නොසිතූ ලෙස එම සම්මානය Anora චිත්‍රපටයේ මයිකි මැඩිසන් විසින් දිනාගත්තේ එම විශ්වාසයන් සුණු විසිණු කරමිනි. මේ හේතුවෙන් ඔස්කාර් සම්මාන ජූරි සභාව අසාධාරණ බවයි බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙන්නේ.
“The Substance” චිත්‍රපටයේ ඩෙමී මෝර් තමා පිළිබඳ අනාරක්ෂිත ඉතා සංකීර්ණ පුද්ගලයෙකුගේ චරිතයක් නිරූපණය කළා. එහි ඇගේ සංකීර්ණ හැඟීම් නිරූපණය ප්‍රේක්ෂකයින්ගෙන් මෙන්ම විචාරකයින්ගේ ද ප්‍රශංසාවට ලක් වූවකි. ඇය චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සඳහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය පවා දිනා ගත්තා. නමුත් ඇයට ඔස්කාර් සම්මාන උළෙලේදී එම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.