හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සේවකයන් 15 දෙනෙකු පුද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව බඳවා ගෙන රුපියල් ලක්ෂ 80ක පාඩුවක් සිදුකිරීමට අදාළ සිය ගිණුමේ මුදල් ලබා ගත්තේ ඔහුගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් යැයි අධිකරණය හමුවේ අනාවරණය කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ නිශාන්ත බන්ඩාර විසින් මෙම තොරතුරු හෙළිකළ බවයි අල්ලස් කොමිසම අධිකරණය හමුවේ (26) දින ප්‍රකාශ කළේ.
මේ බව ප්‍රකාශ වුණේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයාව සිටිය දී පුද්ගලික කාර්ය මණ්ඩලයට පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් උපයා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන නඩුව ඊයේ යළි විභාගයට ගත් අවස්ථාවේය.
අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ වුණා.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියම කෙරුණා.
එම කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ මෙම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් පවතින බවයි.
එය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් භාවිත කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.
මෙම ගිණුමට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා සැකකරුගේ අනු දැනුම මත අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිත කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා.
විත්තියේ නීතිඥවරයා එහිදි පැවසුවේ තම සේවා දායකයාට අදාළ බැංකු ගිණුම හිමි වුවද එය භාවිත කළේ අමාත්‍යවරයාගේ දියණිය බවයි.
එම ගිණුමට පෞද්ගලික පාර්ශවයන්ගෙන් මුදල් බැර වී තිබෙන බව පිළිගන්නා නමුත් අමාත්‍යංශ අරමුදල් ඊට බැරවී නොමැති බව ද නීතිඥවරයා මෙහිදී කියා සිටියා.
මෙම ගිණුමට අදාළ ගනුදෙනු සිදුවී තිබෙන්නේ තම සේවා දායකයාගේ අනුදැනුමකින් තොරව වන අතර ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ඔහු ඇපමත මුදාහරින ලෙසත් එම නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.
එහෙත් එම කරුණු ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් අදාළ මුදල් මෙම ගිණුමට බැර වී තිබෙන්නේ සැකකරුගේ පූර්ණ අනුදැනුම මත බවයි ප්‍රකාශ කළේ.
අදාළ ගිණුමට මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම් පිළිබඳ කෙටි පණිවුඩ සියල්ල ලැබී තිබෙන්නේ මෙම සැකකරුගේ ජංගම දුරකතනයට බවත් එබැවින් එම ගනුදෙනු පිළිබඳව තමන් නොදන්නා බවට සැකකරු දරන ස්ථාවරය පිළිගත නොහැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පවසනු ලැබුවා.
ඒ අනුව විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.
සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.