ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 2025 ලෝක රූ රැජින තරගයේ ප්‍රබල තරගකාරිනියක් වූ එංගලන්ත රූ රැජින මිලා මැගී තරගාවලිය අතරමැද ඉවත්වුණේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරමිනි.
එහි උණුසුම මැකී යන්නටත් පෙර මේ වන විට ඉන්දියාවේ 2024 Miss Grand International ජයග්‍රාහිකාව වූ 21 හැවිරිදි රේචල් ගුප්තා ද ඇගේ තරගය අතර විෂ සහිත සිදුවීම් හා ඉටුනොකල පොරොන්දු පිළිබඳ හෙළි කරමින් ඇගේ කිරුළෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
කෙසේ වෙතත් එම සංවිධානය පවසා ඇත්තේ ඇගේ කිරුළ අවසන් කළ බවයි. දින 30ක් ඇතුළත නැවත කිරුළ ඔවුන්ගේ කාර්යාලය වෙත ලැබීමට සැලැස්විය යුතු යැයි ඔවුන් නිවේදනය කර තිබෙනවා.
එම නිවේදනය පැමිණියේ ‘The Truth about Miss Grand International – My Story’ නමින් ඇය යූ ටියුබ් වීඩියෝවක් නිකුත් කිරීමත් සමඟය. රේචල් එහි පසුගිය මාස හත තුළ ඇගේ වේදනාකාරී අත්දැකීම් බෙදා ගනිමින් සංවිධානය අතින් ඇයට සිදු වූ බව කියන හිරිහැර විස්තර කර තිබුණා.
රේචල්ට අනුව, ඇයට මාසයක් තිස්සේ පටු හෝටල් කාමරයක ජීවත් වීමට සිදු වූ අතර පසුව දුරකථනයක් සහ ආහාර නොමැතිව නගර මධ්‍යයේ සිට පැයක් දුරින් පිහිටි කුඩා නිවසකට යාමට සිදුව තිබෙනවා.
“අවංකවම කියනවා නම් මම ජීවත් වෙනවද මැරෙනවද කියන එක එයාලට වැඩක් නෑ. මම එයාලගේ උත්සවවල හිනා වෙලා ඉන්න තාක් කල්, මම මගේ ශරීරය හරිම කෙට්ටුවට, එයාල කැමති විදියට තියාගන්න තාක් කල්, මම ජීවත් වුණත් මැරුණත් එයාලට ඒක වැඩක් නෑ. ඔවුන්ට අවශ්‍ය වන්නේ මම එතන ඉඳීම පමණයි. TikTok Live එකට ගිහින් එයාලට සල්ලි හොයලා එයාලගේ උත්සවවලට එන්න විතරයි. එයාලට මගෙන් ඕන කරන්නේ එච්චරයි. එයාලා අපිව විකුණන්න සැලැස්සුවා. ඔයාලා දන්නවා එයාලා අපිව ටික්ටොක් එකේ මේ බාල නිෂ්පාදන විකුණන්න සැලැස්සුවේ අපි සේල්ස්ගර්ල්ස්ලා කරලා.”
රේචල් චෝදනා කළේ සංවිධානය, TikTok හි ලාභ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට ඇයට බල කළ බවයි. ඇයට ඒවා ප්‍රතික්ෂේප කිරීම්ට අවස්ථාවක් නොතිබූ අතර සංවිධානය එයින් ආදායම් උපයාගෙන තිබෙනවා.
ඇගේ බර සහ ශරීරය පිළිබඳව සඳහන් කරමින් යථාර්ථවාදී නොවන රූපලාවන්‍ය ප්‍රමිතීන් පවත්වා ගැනීමට සංවිධානය තමාව තල්ලු කළ බව ඇය කියා සිටියා.
රේචල්ගේ ඉල්ලා අස්වීම, මිස් ග්‍රෑන්ඩ් ජාත්‍යන්තර සංවිධානය හා එය තරගකරුවන්ට සලකන ආකාරය මෙන්ම එහි මෙහෙයුම් පිළිවෙත් වටා මතභේදයට තුඩු දී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එම සංවිධානය මේවන විට ඇය සැත්කම් හරහා ඇගේ රූපය වෙනස් කරගෙන ඇති බවටද චෝදනා එල්ල කර තිබෙනවා.
මෙවර ලෝක රූ රැජින කිරුළ අතරමැද එංගලන්ත රූ රැජින තරගය අතහැර ගියේද සංවිධායකයින් ඔවුන්ගේ අනුග්‍රාහකයින් සතුටු කිරීමට තමන්ව පාවිච්චි කිරීමට උත්සහ කල බවට මෙවැනිම චෝදනා කරමින්ය.