රටේ මහ ජනතාව ගෙවනු ලබන කිසිදු බදු මුදලක රුපියලක් හෝ දේශපාලන අධිකාරිය විසින් අවභාවිත නොකරන බවට සහතිකය තමා ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික බදු සතිය සමාරම්භ කරමින් සඳහන් කර තිබෙනවා.
මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇති බව ඔහු එහිදී පෙන්වා දෙනු ලැබුවා.
මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
පුරවැසියාට කාර්යක්ෂතාවයෙන් යුතු රාජ්‍ය සේවයක් ලබාදීමට ඩිජිටල්කරණය හඳුන්වාදෙන බවත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති කළු යාන්ත්‍රණය බිඳ දමා සියලුදෙනා නීතියට අවනත වෙන ක්‍රියාවලියක් සකස් කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
“බදු මුදල් ගැන ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු ලබාගැනීම ප්‍රශ්නයක් පමණක් නොව. එතැනින් එහාට ගිය ජාලගත ප්‍රශ්නයක් මෙතෙන තියෙනවා. අපිට රේගුවට, සුරාබදු එකට චෝදනා කළ හැකි වුවත් ඵලක් නෑ. මෙය එකට ගොඩගැහුණු එකිනෙකට අන්තර් සබඳතා ඇති ජාලයක්. එය බිඳිය යුතු නැද්ද ? රාජ්‍ය යාන්ත්‍රණය මීට සුදානම් විය යුතුයි. එසේ නොමැති නම් කල්තියා යන්න පුළුවන්. මම අවංකව කියන්නේ. මෙම යාන්ත්‍රණය බිඳින්නේ නැත්නම් රට අඟලක්වත් මෙතැනින් එහාට යන්නේ නෑ. අර්බුදයේ ගැඹුරටම යන්න පුළුවන්. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. ව්‍යාපාරිකයෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරලා, ඔවුන් සාධාරණ බද්දක් ගෙවනවා නම් එය ආරක්ෂා කරගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්. එනිසා බදු මුදල් ගෙවන හැමෝටම මම ආරාධනා කරනවා. “ඔබ ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා.” රුපියලක් නාස්ති කරනවා හෝ වංචා කරනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම අපි මැදිහත් වෙන බව මම සහතික වෙන්නම්.”
“බදු ශක්ති” නමින් ක්‍රියාත්මක මෙම බදු සතිය අද සිට ලබන 07වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බව සඳහන්ය.
මේ අතර, 2024 – 2025 තක්සේරු වර්ෂයේ සිට අදාල බදු ගෙවීම් සම්බන්ධ වර්තාවන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එක් කිරීම අද සිට දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත වේදීකාවක් ඔස්සේ පමණක් සිදුවන අතර එම මාර්ගගත වේදීකාව රටේ ජනතාව වෙනුවෙන් විවෘත කිරීම ද අද උදෑසන සිදු කෙරුණා.
එය සංකේතවත් කරමින් පළමු බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත් වේදීකාවට එක් කිරීම සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.