අද මම ගොඩක් සතුටින් ජීවත් වෙනවා. – මනීෂා චංචලා

මනීෂා.. අලුත් ජීවිතේ කොහොමද?
අලුත් ජීවිතේ ගොඩක් හොඳයි. බොහොම සතුටින් මේ අලුත් ජීවිතේ ගත කරනවා. ඉදිරියටත් ඒ විදිහටම සතුටින් ඉන්න උත්සාහ කරනවා.

අශේන් මුලින්ම මුණගැහුණෙ කොහොමද?
මට එයාව මුලින්ම මුණගැහුණෙ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු මේනක රාජපක්ෂ මහතා අධ්‍යක්ෂණය කළ ‘ගුග්ලි’ ටෙලිනාට්‍ය නිසයි. ඒ නාට්‍යයේ අපි දෙන්නම රඟපෑවා. ඇත්තම කිව්වොත් ඊට පෙර අපි කිසිමදාක මුණගැහිලා තිබුණෙ නෑ. ඉතින් අපිව මුණගැස්සුවෙ ‘ගුග්ලි’.

ඇත්ත කියන්න.. අශේන්ට මනීෂා ආදරය කරන්න මුල්ම හේතුව මොකක්ද?
ඇත්තම කිව්වොත් ගුග්ලි ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරද්දි අපි දෙන්නම මුලින්ම එහෙම ලොකුවට කතාබහ කළේ නෑ. රූගත කිරීම් කරද්දි වුණත් එයා එයාගේ කොටස රඟපාලා ඉවරවෙලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. මගේ කොටස රඟපාලා මාත් පැත්තකට වෙලා ඉන්නවා. කොහොම හරි රූගත කිරීම් කරපු මුල් කාලෙදි අපි දෙන්නා එහෙම කතා කරපු නැති තරම්. ඇත්තම කිව්වොත් අපි කතා කරන්න පටන් ගත්තෙත් රූගත කිරීම් කරපු අන්තිම දවස්වලයි. එයාගේ මම දැක්ක ආදරණීයම දේ තමයි එයා දෙමව්පියන්ට හරිම ළෙන්ගතු චරිතයක්. දෙමව්පියන්ට හරිම ආදරෙයි. මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි දෙමව්පියන්ට එහෙම ආදරය කරන දරුවන් පවුල කියන දේ තමන්ගේ ජීවිතේ පළමු තැන කර ගන්නවා කියන එක. ඒ වගේ අය එයාගේ බිරිඳට, දරුවන්ට ආදරේ කරනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින්.. ඒ ආදරයට ආදරේ කරලා තමයි අවසානෙදි මමයි අශේනුයි විවාහ වුණේ.

ඇත්ත කියන්න.. දෙන්නගෙන් කාටද වැඩියෙන්ම තරහ යන්නෙ?
ඇත්තම කියන්නද? අශේන්ට තරහ යනවා දකින්න හරිම අමාරුයි. එයා හරිම ඉවසීමෙන් බුද්ධිමත්ව වැඩ කරන කෙනෙක්. ඉතින් මට තමයි ටිකක් තරහ යන්නෙ. ඇත්තටම මට ලොකු දුකක් දැනුණාම තමයි තරහ යන්නෙ. ඒක අශේන්ට හොඳට තේරෙනවා. ඒ හැර හැම වෙලාවෙම මම තරහ යන කෙනෙක් නම් නෙමෙයි.

අශේන් මුලින්ම ඔයාට දීපු තෑග්ග මොකක්ද?
මම ගේදොර ලස්සන කරන විසිතුරු බඩුවලට හරිම කැමති කෙනෙක්. ඒක අශේන් මුල් කාලෙදිම කොහොම හරි දැනගෙන තිබුණා. ඉතින් මගේ උපන් දිනයට එයා ඒ වගේ ලස්සන විසිතුරු බඩු ගොඩක් තෑගි කළා. අම්මෝ… ඒවා හරි ලස්සනයි. අදටත් මම ඒවා හරිම පරිස්සමට තියාගෙන ඉන්නවා.

අශේන්ට ඔයා මුලින්ම දීපු තෑග්ග මොකක්ද?
එයා හරිම ලස්සනට පිළිවෙළට අඳින්න කැමති කෙනෙක්. ඉතින් එයාගේ උපන් දිනයට මම එයාට ඇඳුම් වගයක් තෑගි කළා. එයා ඒ තෑග්ගට ගොඩක් කැමති වුණා.

ඔයාගේ වැඩවලට අශේන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මෝ.. ඒ ගැන නම් කියන්න වචන නැති තරම්. මම හැමදාම බලාපොරොත්තු වුණේ මගේ අම්මා අප්පච්චි වගේ මාව ආදරෙන් බලාගන්න, මට උදව් කරන කෙනෙක්. ඉතින් මම ගත්ත තීරණය සිය දහස් වාරයක් හරි කියලා අද මට හිතෙනවා. අශේන් නිසා මගේ ජීවිතේ ගොඩක් දේවල් හොඳ විදිහට සිද්ධ වෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් මට අලුත් අරමුණු තියෙනවා. අලුත් බලාපොරොත්තු තියෙනවා. විශේෂම දේ අද මම ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඉතින් මගේ වැඩ මම හරිම සතුටින් කරගෙන යනවා.

මනීෂා.. අශේන්ගෙන් දකින එයාගේ කැමතිම ගුණාංගය මොකක්ද?
එයා හරිම ආදරණීයයි. හරිම බුද්ධිමත්. හරිම නිදහස් විවෘත මනසක් තියෙන කෙනෙක්.

එයාගේ අකමැතිම ගුණාංගය මොකක්ද?
එහෙම කියන්න විශේෂ දෙයක් නැති තරම්.

විවාහයෙන් පසුව දෙන්නගේ මුල්ම බලාපොරොත්තුව මොකක්ද?
අපි දෙන්නටම තව ලොකු ගමනක් යන්න තියෙනවා. විවාහයත් එක්ක ජීවිතය නතර වෙන්නෙ නෑ. සිහින, අරමුණු සහ බලාපොරොත්තු තියෙනවා. අපි දෙන්නම එකතුවෙලා ඉවසීමෙන්, අවබෝධයෙන් ඒ දේවල් ඉෂ්ඨ කර ගැනීම තමයි මුල්ම සහ එකම බලාපොරොත්තුව. ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලත් මම විශ්වාස කරනවා.

– දිශානි

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!