සිය වත්කම්වලින් උපයා ගත නොහැකි රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වසර හතරක කාලයකදී පෞද්ගලික බැංකු තුනක ස්ථාවර ගිණුම්වල තැන්පත් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකුට සහ නැන්දණියට එරෙහිව අධිචෝදනා භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විත්ත්කරුවන් ඇප මත මුදා හැරීමට ඊයේ (02) කටයුතු කරනු ලැබුවා.
මහාධිකරණ විනිසුරවරයා විසින් එම නියෝගය සිදු කළේ 2009 වසරේ මාර්තු මස 31 වෙනිදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12වැනිදාත් කාල සීමාව තුළ පෞද්ගලික බැංකු තුනක ස්ථාවර ගිණුම්වල අදාළ මුදල් තැන්පත් කළ බවට චෝදනා ලැබ සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදීය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය පෙනී සිටි අතර විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා පත්‍ර විවෘත අධිකරණයේදී ඔවුන්ට භාරදෙනුු ලැබුවා.
වසර හතරක කාල සීමාව තුළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකුවල ස්ථාවර තැන්පතු වශයෙන් තැන්පත් කිරීමෙන් මුදල් විශුද්ධි කරන වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබෙනවා.
නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වර්ල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් මෙම නඩුවට සමාන නඩුවක් අංක එක උසාවියේ පවරා ඇති බවත් එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බවත් සඳහන් කර සිටියා.
අංක එක උසාවියේ පවරා ඇති මෙම නඩුවට සමාන නඩුව ලබන 11වැනිදා කැඳවීමට නියමිත යැයි කී රජය නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා මෙම නඩුවේ ලේඛනවල යම් අඩුවක් ඇත්නම් තමන්ට දැනුම් දෙන්නැයි විත්තියේ නීතඥවරුන්ගෙන් ඉල්ලා සිටියා.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා සහ සම්පත් මෙන්ඩිස් මහත්වරු කරුණු දක්වමින් පැමිණිලි පාර්ශවයෙන් තමන්ට භාරදුන් ලේඛන පරීක්ෂා කර ඒවායේ යම් අඩුපාඩුවක් ඇත්නම් ඉදිරි දිනයේදී ඒ බව දැනුම් දීමට කටයුතු කරන්නේයැයි දැනුම් දී තිබෙනවා.
අධිකරණයෙන් නිකුත් කළ සිතාසි අනුව උසාවිය පෙනී සිටින තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි නීතිඥවරු ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමටද නියම කර තිබෙනවා.
නඩුව අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.