මාර්ගතව ඇණවුම් කරන ලද භාණ්ඩ සඳහා ව්‍යාජ ගෙවීම් රිසිට්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන අංශයේ (CCID) සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.
පැමිණිල්ලට අනුව, සැකකරු ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුගේ සහෝදරයෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් 85,000 ක් වටිනා සුරතල් බල්ලෙකු මිලදී ගෙන තිබෙනවා.
පොරොන්දු වූ ගෙවීම සිදු කර සැකකරු තම ජංගම දුරකතනයට රිසිට්පතක් එවා අදාළ මුදල බැංකු ගිණුමට බැර කර ඇති බව සඳහන් කර තිබෙනවා.
ගෙවීම සැබෑ බව විශ්වාස කරමින්, පැමිණිලිකරු බල්ලා රත්නපුරයේ සිට සැකකරුගේ ලිපිනයට ත්‍රිරෝද රථයකින් යැවීමට කටයුතු කර ඇති බව සඳහන් ය.
කෙසේ වෙතත්, පසුව එය ව්‍යාජ රිසිට්පතක් බව සොයා ගෙන ඇති බවයි පවසන්නේ.
විමර්ශනවලින් පසුව, සැකකරු කොළඹදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසනවා.
වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වූයේ එම සැකකරුම නාවල ප්‍රදේශයේ මස් කඩයකින් රුපියල් 31,187 ක් වටිනා මස් නිෂ්පාදන ඒ හා සමාන ව්‍යාජ රිසිට්පතක් භාවිතා කර ලබාගෙන ඇති බවයි.
ඊට අමතරව, ඔහු රුපියල් 200,000 ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් ද ඒ ආකාරයෙන්ම වංචනික ලෙස මිලදී ගෙන තිබෙනවා.
සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් කේක් ඇතුළු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා මෙම ක්‍රමයම භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැකකරුගේ ශීතකරණයේ ගබඩා කර තිබූ කේක් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගන්නා ලද අතර ඒවා ව්‍යාජ ගෙවීම් රිසිට්පත් භාවිතයෙන් ලබා ගත් බවට සැක කෙරේ.
සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ජූලි 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.