හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ටී.එම්.වී.පී. සංවිධානයේ නායක සහ නැඟෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තියා දැනගෙන සිටි බවට තොරතුරු ද අනාවරණය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත් වීමෙන් පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන අලුතෙන් ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියා.
ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන එන ලද කල් තැබීමේ විවාදයේදී අදහස් පළ කරමිනි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්දමර්දු ප්‍රදේශයේ නිවෙසක් තුළ සිදුවූ බෝම්බ පිපිරුමෙන් මියගිය අය අතර පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නමැත්තිය සිටින බව තහවුරු කිරීමට යොදාගත් තුන්වැනි ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා සාම්පල ගැනීමේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව තිබෙන බවත් ඒ අනුව ඇය මිය ගියාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව තිබෙන බව ආනන්ද විජේපාල මහතා මෙහිදී අනාවරණය කළා.
සාරා ජෙස්මින් 2019.04.26 වැනි දින සයින්දමර්දු ප්‍රදේශයේදී සිදුවූ බෝම්බ පිපිරීමෙන් මිය ගියේද නැද්ද යන්න සම්බන්ධයෙන් සිදු කළ ඩී.එන්.ඒ වාර්තා අවස්ථා දෙකකදී කැඳවා තිබෙන නමුත් එම වාර්තා ඇයගේ සමීපතමයන් සමඟ ගැළපී නැති බව එහිදී අවධාරණය කෙරුණා.
පසුව තෙවැනි අවස්ථාවේදී ඇයගේ මවගේ ඩී.එන්.ඒ. සමඟ ගැළපී ඇති බව සඳහන් වුණා. එම ඩී.එන්.ඒ. සාම්පල ගැනීමේ ක්‍රියාවලිය බරපතළ සැකයට මේ වන විට ලක්ව තිබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරගතව සිටියදී පිල්ලෙයාන් මේ තොරතුරු දැනසිටි බවට අනාවරණය කරගෙන තිබෙන අතර එම කාලයේදී ඔහු බුද්ධි අංශ නිලධාරීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට අනාවරණය වී තිබෙන බව ඇමතිවරයා පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ආනන්ද විජේපාල මහතා,
“මීට වසර හයකට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවුණා. කාදිනල් හිමියන්ගේ උත්සවයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් විකෘති කළා. ඒ මහතා ප්‍රකාශ කළේ මේ සිදුවීමට අදාළ විමර්ශන රජය මඟින් පරීක්ෂාවට ලක් කරන බවයි. එය අතහැර දමා නැහැ. මේ ප්‍රහාරයේදී දේවස්තාන සහ හෝටල් ඉලක්ක කළා. පුද්ගලයන් 274 දෙනකු මියගියා. මේ ප්‍රහාර මාලාවෙන් 590කට බරපතළ තුවාල සිදුවුණා. බරපතළ දේපොළ හානි සිදුවුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළා. එහිදී සැකකරුවන් 748 දෙනකු අත්අඩංගුවට ගත්තා. නඩු 42ක් පවරා තිබෙනවා. ඊට අමතරව පැවති රජයන් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ තවත් පිරිසකගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා. එහි වාර්තාව එවකට ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළත් එය ප්‍රසිද්ධ කර නැහැ. ඒ වාර්තාව අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම්. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මෙය සිදුව තිබෙනවා.
එවකට ජනාධිපති කොමිෂන් සභාවක් ද පත්කර තිබෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශනයට. ඒ කොමිසමේදී පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ඍජුව, වක්‍රව සබඳතා ඇති අය සහ සිදුව තිබෙන ක්‍රියාවන්ට කොමිෂන් සභාව පත් කළා. මේ කොමිෂන් සභා වාර්තාව පිටු 67,738ක්. වෙළුම් 87ක්. මේ සිදුවීම සම්බන්ධයෙන් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ මාධ්‍ය ප්‍රකාශක අසාද් මවුලානා විසින් විදෙස් මාධ්‍යයකට ප්‍රකාශයක් කර තිබෙනවා. මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලීමක් කළත් කිසිදු පරීක්ෂණයක් කර නැහැ. කතෝලික සභාව, විවිධ පාර්ශ්ව මෙලෙස පරීක්ෂණයක් ඉල්ලා සිටියා. නමුත් විශ්‍රාමික විනිසුරු එස්.අයි. අමීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා. පසුගිය මැතිවරණයේදී අපේ ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්රකාශයේදී මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය බවට ප්‍රකාශ කළා. ඒ ආකාරයෙන්ම අපි මේ වන විට විධිමත් ලෙස විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ සිටි අය අද තමන් කොතැනද සිටියේ කියා නොදැන විවිධ ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාට අපි පොරොන්දු වූ ආකාරයට මෙහි විමර්ශන විධිමත් ලෙස ආරම්භ කර තිබෙනවා. ඒ කටයුතු හොඳින් සිදුවෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ ද එවකට ආණ්ඩු බලය වෙනස් වීමෙන් පසුව පරීක්ෂණ නිලධාරීන් ඉවත්කොට විමර්ශන අවසන් කළා. අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ විමර්ශන කටයුතු සත්‍ය ලෙසම ආරම්භ කළා. මේ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර සිටි නිලධාරීන් නැවත කැඳවා විමර්ශන ආරම්භ කළා. අසාද් මවුලානාගේ හෙළිදරව්ව පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් අනුව නව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ වන විට පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විමර්ශන කරගෙන යනවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු වෙනවා.
මේ විමර්ශනය සාර්ථකව අවසන් කොට ඒකට වගකිව යුතු පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගන්න පියවර ගන්නවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ සහරාන් හසීම් යන අය මෙහෙයවීමට කවුරුන් හෝ සිටියා ද යන්න පිළිබඳ සොයා බලනවා. ඒ පිළිබඳ අධිකරණයට තොරතුරු වාර්තා කරන්න අපේක්ෂා කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සිදුවූ සිදුවීමක් ලෙස මාවනැල්ල බුදු පිළිමවලට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ද විමර්ශන සිදු කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර වවුනතිවු හිදී පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළා. මේ විමර්ශනයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වන අජන්තන් අත්අඩංගුවට ගන්නවා. ඔහු පැලඳ සිටි කබාය ආදිය ඒ ආසන්නයෙන් සොයාගෙන අසත්‍ය සාක්ෂියක් නිර්මාණය කර තිබෙනවා. ඒ සිදු කළ උත්සාහය පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. බුද්ධි අංශ නිලධාරියකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය සේවයේ විවිධ තලවල සිටින සුළු පිරිසකගේ ක්‍රියාවන් නිසා යම් යම් අපහසුතා ඇති වෙනවා.
රාජ්‍ය බුද්ධි සේවයේ වැඩි පිරිසක් ඉතා විශිෂ්ට සේවාවක් සිදු කරනවා. වවුනතිවු පොලිස් නිලධාරීන් ඝාතනයට යොදා ගත් ටී-56 ගිනි අවිය ගැන කතා කළා. මොහොමඩ් නියාස් නමැති පුද්ගලයා මියගිය පසුව ඒ ආසන්නයේ තිබියදී හමුවූ ගිනි අවිය බවට හඳුනාගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් ළඟ තිබූ ගිනි අවියක් වනාතවිල්ලුව ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. වවුනතිවු ප්‍රහාරය නොමඟයවන විමර්ශනයක් බවට මේ තුළින් පැහැදිලි කරන්න උත්සාහ ගෙන තිබෙනවා. නමුත් එම විමර්ශන මේ වන විට සත්‍ය වශයෙන්ම සිදුවෙනවා. සහරාන් හසීම්ගේ සමීපතමයන් සිව්දෙනකු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කොට අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා. ඒ සියලු විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙනවා. සහරාන්ගේ කණ්ඩායමේ සාරා ජෙස්මින් 2019.04.29 වැනි දින සිදුවූ මාරණයකදී ඩී.එන්.ඒ. වාර්තාව සාරා ජෙස්මින් සමඟ සැසඳුණේ නැහැ. ඒ සඳහා ඉදිරිපත් කළ ඩී.එන්.ඒ. සාම්පල බරපතළ සැකයන් මතුව තිබෙනවා. සාරා ජෙස්මින් සයින්දමර්දු ප්‍රහාරයේදී මිය ගියාද නැද්ද යන්න මේ වන විට ප්‍රශ්නයක් ඇතිව තිබෙනවා.
ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන සිදු කරනවා. සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් අත්අඩංගුවවට ගෙන රැඳවුම් නියෝග අනුව විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඒ පිළිබඳ පූර්ව දැනුවත්කමකින් සිටි බවට අනාවරණය වී තිබෙනවා. මෙම ඝාතන සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි සාමාජිකයන් ද පිල්ලෙයාන් සමඟ බන්ධනාගාරගතව සිට තිබෙනවා. ඒ අනුව පිල්ලෙයාන් ගැන සැකයක් තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි කියා හඳුනාගෙන තිබෙනවා. නිර්දේශ 42ක් මේ වන විට දැනුම්දී තිබෙනවා. පාස්තු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන හොඳින් ඉදිරියට යනවා. අසාද් මවුලානා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද මේ වන විට කටයුතු සිදු කරගෙන යනවා. මේ අන්තවාදයට සහ ජාතිවාදයට අපි කිසි ලෙසකින් හෝ ඉඩ දෙන්නේ නැහැ. නීති මදි නම් අලුතින් නීති ගෙනවිත් ඒවාට විරුද්ධව කටයුතු කරනවා”